Last Update  :  2024-05-15 15:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දසුන් ශානක වැරැද්ද පිළිගනී

දසුන් ශානක වැරැද්ද පිළිගනී

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමා දුවද්දී දැවී යෑමකට හසු නොවන්න ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 300 සීමාව දක්වා යෑමට අවස්ථාවක් තිබූ බවත්, එස් වූවා නම් තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමටද ඉඩ තිබූ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු දසුන් ශානක පවසයි. තමන් දුවද්දී දැවී ගියේ තමන්ගේම වරදින් බවත් කණ්ඩායම පරාජය වීමේ හේතුව එය බවත් දසුන් ශානක පැවසීය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (20 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව කියා සිටියේය.

“කණ්ඩායම පැත්තෙන් බැලුවොත් ඒ වෙලාවේ මම ලොකු වැරැද්දක් කළේ. එවෙලේ තිසර අයියයි මමයි ඕවර 50 ඉවර වෙනකන් පන්දුවට පහරදුන්නා නම් මේ ලකුණු ප්‍රමාණය 290 ක් 300 ක් දක්වා ගෙනියන්න තිබුණා කියලා මම හිතනවා.” යැයිද ශානක පැවසීය.

සිය දුවද්දී දැවීයෑම සම්බන්ධයෙන් ශානක පැවසූවේ මෙවන් අදහසකි.

“ඇත්තටම එතන ලකුණක් තිබුණේ නෑ. එත් මම ඒ වෙලාවෙ ඉස්සරහට ආවා. සාමාන්‍යයෙන් අනෙක් පිතිකරුවා පන්දුවට පහර දෙන සැණින් මම අඩියක් දෙකක් විතර ඉස්සරහට එනවා. ඒක මගෙන් වෙන වැරැද්දක්. ඒක මම ඉක්මනටම හදාගන්න ඕනේ.” යැයිද ඔහු කියා සිටියේය.

තරගයේ 23 වැනි ඕවරය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 102 ක් ලබා සිටියද පන්දු තුනක් ඇුතුළතදී නිරෝෂන් දික්වැල්ල සහ කුෂල් මෙන්ඩිස් දෙදෙනාම දැවී යාම නිසා ලකුණු පුවරුව කඩුලු 4 ට 102 ක් විය. එතැන් සිට එක්වූ දසුන් ශානක සහ තමන්ගේම වරදින් දුවද්දී දැවී යාමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 කට ලකුණු 212 ක් ලබා සිටියේය.

ධනංජය ද සිල්වා සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක් එක්කළ දසුන් වඩාත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු වන තිසර පෙරේරා සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක් එක්කළේය.

“මම මගේ සාමාන්‍ය විධියට තමා ක්‍රීඩා කළේ. කඩුලු වැටිලා තිබුණා කියලා පීඩනයක් ගත්තේ නෑ. මම පන්දුවට පහරදීපු විධිය දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වුණා නම් තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා කියලා මට හිතෙනවා.”

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 273 තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් වුවත්, වර්ෂාව ඇද හැළීමට පෙර බලාපොරෝත්තු වු අයුරින් එංගලන්ත කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් දවාගැනීමට නොහැකි වීමද තරගයේ පරාජයට බෙහෙවින්ම බලපෑ බව ශානක සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“අපි බලාපොරොත්තු වුණේ වේලාසනින් කඩුලු දෙක තුනක් දවාගන්න. බලාපොරොත්තු වුණා වගේම කඩුලු 2 ක් දවාගත්තා. ඒත් පන්දු රකින්නන් පස්දෙනෙක් යාර 30 සීමාවෙන් එළියෙ හිටපු නිසා නිපන්දුවක් ගියා. ඒ පන්දවට කඩුල්ලක් වැටුණා නම් මම හිතන්නේ අපි සෑහෙන්න එයාලගේ (එංගලන්ත පිලේ) කිට්ටුවට එනවා. එතනින් තමා තරගයේ පීඩනය අපේ පැත්තට හැරුණේ.” යයිද දසුන් ශානක පැවසීය.

ධනංජය ද සිල්වාගෙන් පිත්තටම ලැබුණු පන්දුවකට ස්වීප් පහරක් ගැසීමට උත්සාහ කළ ජෝ රූට්ගේ උඩපන්දුව ෂෝට් ෆයින් ලෙග් හි සිටි ලසිත් මාලිංග විසින් රැකගන්නා ලදි. එහෙත් ඒ  වන විට යාර 30 සීමාවෙන් පිටත පන්දු රකින්නන් පස්දෙනකු සිටීම හේතුවෙන් එය නිපන්දුවක් ලෙසින් සංඥා කිරීමට පා ඉන්න අන්තයේ විනිසුරු ලින්ඩන් හැනිබල් මහතා පියවර ගත්තේය.

ඒ වන විට එංගලන්ත පිල කඩුලු 2 කට ලකුණු 115 ක් ලබා සිටියේය.

 

ඡායාරූපය - චතුර එස්. කොඩිකාර


අදහස් (0)

දසුන් ශානක වැරැද්ද පිළිගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.