Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කෝලි දකුණු අප්‍රිකානු ජනපතිට සමකරයි

කෝලි දකුණු අප්‍රිකානු ජනපතිට සමකරයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවැති එක්දින තරගාවලිය සෙන්චූරියන්හිදී අවසන් වූයේ ඉන්දීය පිල කඩුලු 8 කින් ජයගැනීමෙනි. ඉන්දියාවට 5-1 ක ජයක් හිමිවූ මෙම තරගාවලියේ නිමාවත් සමගම දකුණු අප්‍රිකානු පුවත් පත්වලට අපූරු වදන් වැලක්ද එක්වී තිබිණ.

“දකුණු අප්‍රිකානුවන්ට ජනාධිපති ජේකබ් සූමාව හෝ විරාට් කෝලි කියන දෙන්නාගෙන් එක්කෙනක්වත් අයින් කරගන්න බෑ” යන්න එයයි.

සෙන්චූරියන්හිද සිකුරාදා පැවැති අවසන් එක්දින තරගයේදී අත්‍යලංකාර පිතිහරඹයක නිරත වූ කෝලි පන්දු 96 කින් ලකුණු 129 ක් ලබාගත්තත් ඔහුව දවාගැනීමට සමත් පන්දු යවන්නකු දකුණු අප්‍රිකානු පිලේ සිටියේ නැත. දකුණු අප්‍රිකානු පිල ලබාගත් ලකුණු 204 ඉන්දියානුවන් පසුකර ගියේ ඕවර 17.5 ක් ඉතිරිව තිබියදීය.

තරගාවලිය ආරම්භ කරන විට ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකාවට වඩා එක ප්‍රසාද ලකුණක් පසුපසින් සිටියේය. ඔවුන් තරගාවලිය අවසන් කළේ ප්‍රසාද ලකුණු 5 ක පැහැදිළි වෙනසකින් දකුණු අප්‍රිකාව පසුකරමින් පළමු තැන අත්පත් කරගැනීමෙනි.

මෙම තරගාවලිය විරාට් කෝලිට සුවිශේෂී තරගාවලියක් විය. ද්වි පාර්ශ්වික එක්දින තරගාවලියකදී ලකුණු 500 සීමාව පසුකළ පළමු පිතිකරුවා වූ විරාට් කෝලි ශතක 3 ක්ද සමගින් ලකුණු 558 ක් ලබාගත්තේ ඉනිමකදී ලකුණු 186 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. මෙම තරගාවලියේදී කෝලිගේ ලකුණු ලබාගැනීමේ ප්‍රවේගය (ප්‍රහාරාත්මක වේගය/පන්දු 100 කදී ලබාගන්නා ලකුණු සංඛ්‍යාව) 99.47 කි.

“මෙහෙයවීමේදී ඉදිරියෙන්ම ඉඳගෙන කණ්ඩායම මෙහෙයවීමටයි ඕනෑ කරන්නේ....කණ්ඩායමේ අනෙක් සගයින්ගේ සහයෝගත් ඇතිව ඒවා හොඳින් සිද්ධ වෙනකොට හරිම සතුටුයි” යයි විරාට් කෝලි තරගාවලියෙන් පසුව පැවසීය.

තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 204 කට දෑවී ගියේය. ශර්දුල් ඨාකූර් කඩුලු 4 ක් දවාගත් අතර ජස්ප්‍රීට් බුම්රා සහ යුස්වේන්ද්‍ර චාහල් කඩුලු 2 ක් බැගින් දවාගත්හ. යන්තම් හෝ හිස එසවූ එකම දකුණු අප්‍රිකානු පිතිකරුවා වූයේ පන්දු 74 කදී ලකුණු 54 ක් ලබාගත් කායා සොන්ඩෝ පමණි. මෙය සොන්ඩෝගේ තුන්වැනි එක්දින තරගයයි.

ඉන්දියානු පිලේ ඉලක්කය පහසු වූවත් සිවුවැනි ඕවරයේදී රෝහිත් ෂර්මා දැවී ගියේය. එැතැන් සිට තරගයට පිවිසි ඉන්දීය නායකයා ආපසු ක්‍රීඩාගාරයට ගියේ තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවය. පන්දු 36 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ කෝලිගේ 35 වැනි එක්දින ශතකයට අවශ්‍ය වූයේ පන්දු 82 ක් පමණි. කෝලිගේ පන්දු 96 ඉනිමට හතරේ පහර 19 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය.


දකුණු අප්‍රිකාව  - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 204
(හසිම් අම්ලා 10, ඒ.බී. ඩිවිලියර්ස් 30, කායා සොන්ඩෝ 54, හෙන්රික් ලාසන් 22, ඇන්ඩිල් පෙලුක්වායෝ 34, මොර්නි මෝකල් 20, ශර්දුල් ඨාකුර් 52/4, ජස්ප්‍රීට් බුම්රා 24/2, යුස්වේන්ද්‍ර චාහල් 38/2)

ඉන්දියාව - ඕවර 32.1 කදී කඩුලු 2 ක් දැවී 206
(ෂිකාර් ධවාන් 18, රෝහිත් ෂර්මා 15, විරාට් කෝලි නොදැවී 129, අජින්ක්‍යා රහනේ නොදැවී 34, ලුංගි නිදී 54/2)


අදහස් (0)

කෝලි දකුණු අප්‍රිකානු ජනපතිට සමකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.