Last Update  :  2024-05-18 09:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඕස්ට්‍රේලියානුවෝ අළු බඳුන රැකගනිති

ඕස්ට්‍රේලියානුවෝ අළු බඳුන රැකගනිති

Nisanka Sandeepani - 2017 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් හමුවේ සටනකින් තොරවම යටත් වූ එංගලන්ත පිතිකරුවන් දෙවැනි ඉනිමේදී ලකුණු 218 කට දැවී යාම හේතුවෙන් තරග දෙකක් ඉතිරිව තිබියදීම අළු බඳුන තමන් සතුකරගැනීමට ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ. තරග  තුනකින් සමන්විත තරගාවලියේ පළමු තරග තුනම ජයගත් ඕස්ට්‍රේලියාව මේ වන විට 3-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.

පර්ත්හි බටහිර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංගම් පිටියේදී පැවැති තුන්වැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද (18 වැනිදා) ඉනිමකින් සහ ලකුණු 41 ක ජයක් ඕස්ට්‍රේලියානුවන් විසින් අත්කර ගන්නා ලදි. එංගලන්ත පිලේ මුල් ඉනිමට රැස්කරගත් ලකුණු 403 ට පිළිතුරු වශයෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 662 ක් ලබාගත් ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් නායක ස්ටීවන් ස්මිත් ද්විත්ව ශතකයක් ලබාගත්තේය. දෙවැනි ඉනිමේදී එංගලන්ත පිල සුනු විසුණු කර දැමූ ජොස් හේසල්වුඞ් ලකුණු 48 කට කඩුලු 5 ක් දවාගත් අතර පැට් කමින්ස් සහ නේදන් ලයන් කඩුලු දෙකක් බැගින් බෙදා ගත්හ. 

මිචෙල් ස්ටාක් (91/4) මුල් ඉනිමේදී සිය යුතුකම ඉටුකර තිබිණ. 

අද දින තේ පානයට පෙර තරගය අවසන් වූයේ වසර හතරකට පෙර ඇලිස්ටෙයාර් කුක්ගේ කණ්ඩායම තරගාවලිය පරාජය වූ ලීලාවෙන්ම එම ක්‍රීඩාංගණයේදීමය. 2013 තරගාවලියේදී මිචෙල් ජොන්සන් කළ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ඕස්ටේ්‍රලියානුවෝ එංගලන්තයට 5-0 ක සුද්දයක් දුන්හ. 

මෙවර මිචෙල් ස්ටාක් පෙරමුණ ගෙන සිටින්නේත් එංගලන්තයට එවැනිම ඉරණමක් උරුම කර දීමේ අපේක්‍ෂාවෙනි. ස්ටාක් මේ වන විටත් තරග තුනේදී කඩලු 19 ක් දවාගෙන සිටී. 

ඊයේ වට වර්ෂාව නිසා පිටියේ තිබූ තෙතබරිත තත්ත්වය හේතුවෙන් අද දින තරගය ආරම්භය පැය තුනකින් ප්‍රමාද විය. එංගලන්ත පිතිකරුවන් අහස දෙස බලමින් වර්ෂාව ප්‍රාර්ථනා කරමින් සිටි නමුත් එංගලන්තයේ අවසන් කඩුලු හයම ලකුණු 85 කට බිම දැමූ හේසල්වුඞ් ප්‍රමුඛ ඕස්ටේ්‍රලියානුවෝ අපහසුවකින් තොරවම තරගය ජයගත්හ. 

“මේ වෙලාවේ මට කිසිදෙයක් හිතාගන්න බෑ. එකිනෙකට වෙනස් හැගීම් සමුදායක් අතිවෙමින් තියෙන්නේ.....”
“අළු බඳුන තරගාවලිය ජයගත්තා කියන්නේ මොන තරම් ආශ්චර්යවත් හැඟීමක්ද? මගේ නායකත්වය යටතේ පළමු තරගාවලිය....දැනටමත් 3-0 ක් ඉදිරියෙන්”
යයි ස්ටීවන් ස්මිත් තරගයෙන් පසුව පැවසීය. 

අයහපත් කාලගුණය හේතුවෙන් තරගයේ ඕවර 28 ක් අපතේ ගොස් තිබිණ. කඩුලු 4 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටි එංගලන්ත පිතිකරුවන්ට රැකගත යුතුව තිබුණේ කඩුලු 6 ක් පමණි. ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ආපසු පිටියට කැඳවීමට අවශ්‍යව තිබුණේ ලකුණු 127 කි. 
තණතීරුවේ දෙපැත්තේම පැලුම් තිබිණ. ජොනී බෙයාර්ස්ටෝ මුහුණ දුන් පළමු පන්දුවේදීම හේසල්වුඞ් හමුවේ දැවී ගිය අතර තවත් බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවකු වන මුයින් අලීගේ ඉනිම අවසන් කිරිමට නේතන් ලයන්ට හැකිවිය. ඬේවිඞ් මාලන් සිය අර්ධ ශතකය ලබාගත් නමුත් පසුපෙළ පිතිකරුවන්ට හිස් එසවීමට ඉඩ නොතැබීමට හේසල්වුඞ් සහ පැට් කමින්ස් වගබලාගත්හ. 

සිව්වැනි අළු බඳුන තරගය මේ මස 26 වැනිදා මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. 

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ අළු බඳුන රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.