Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තයට ලකුණු 2 ක තියුණු ජයක්

එංගලන්තයට ලකුණු 2 ක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස එංගලන්තය සහ නවසීලන්තය අතර ඊයේ (18 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 192 ක් පමණි.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට මාටින් ගප්ටිල් (62) සහ කොලින් මුන්රෝ (57) සමත් වුවද, නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. පන්දු 47 කට මුහුණදුන් ගප්ටිල් සිය 14 වැනි විස්සයි20 අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් අලංකාර කළ අතර පන්දු 21 කදී වාර්තා වූ මුන්රෝගේ 7 වැනි විස්සයි20 අර්ධ ශතකය හයේ පහර 7 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.

නවසීලන්ත ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ මාක් චාප්මන් පන්දු 30 කදී නොදැවී ලකුණු 37 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. ආදිල් රෂීඞ්, ටොම් කරන්, ලියෑම් ප්ලන්කට් සහ ඩේවිඩ් මැලන් එංගලන්තය වෙනුවෙන් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඔයින් මෝගන් පන්දු 46 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 80 ක් රැස්කළේය. ඬේවිඞ් මැලන් (53) සමග එක්ව එංගලන්ත ඉනිමේ 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මෝගන් සමත් විය. පන්දු 36 කදී වාර්තා වූ මැලන්ගේ අර්ධ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත විය.

නවසීලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 50 කට කඩුලු 3 ක් දවාගත් අතර ටිම් සවුති ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගත්තේය.


එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 194
(ජේසන් රෝයි 21, ඬේවිඞ් මැලන් 53, ඔයින් මෝගන් නොදැවී 80, ටේ‍රන්ට් බෝල්ට් 50/3, ටිම් සවුති 22/3)

නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 192
(මාටින් ගප්ටිල් 62, කොලින් මුන්රෝ 57, මාක් චාප්මන් නොදැවී 37)

 


- 036

 


අදහස් (0)

එංගලන්තයට ලකුණු 2 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.