Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තය කඩුලු 7 කින් ජයගනී

එංගලන්තය කඩුලු 7 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ පන්දු 15 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

නායක ඔයින් මෝගන් (නොදැවී 58) සහ බෙන් ස්ටෝක්ස් (නොදැවී 35) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 73 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. පන්දු 49 කදී වාර්තා වූ මෝගන්ගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් අතුළත් වූ අතර පන්දු 24 කට මුහුණදුන් ස්ටෝක්ස් හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සිය ඉනිම සැරසීය.

ආරම්භක පිතිකරු ජේසන් රෝයි පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 41 ක් රැස්කරමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ රෝයි කඩුල්ල මුවා කළ බවට ශ්‍රී ලංකා පන්දු රකින්නන් ඉල්ලීමක් කළද ප්‍රධාන විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. පසුව එම තීරණය විනිසුරු තීරණ ක්‍රමවේදයට යොමු කිරීමට නායක චන්දිමාල් පියවර ගත් අතර තෙවැනි විනිසුරුවරයා රෝයි දැවී ගිය ක්‍රීඩකයකු බවට  සංඥ්ඥා කළේය.

ජොනී බෙයාස්ට්‍රෝට (4) සහ ජෝ රූට්ට (8) වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට අමිල අපොන්සු ඉඩක් නොදුන්නේය. එංගලන්ත ඉනිමේ දෙවැනි ඕවරයේදී තිසර පෙරේරා සමග එක්ව බෙයාස්ට්‍රෝගේ ඉනිම නිමා කළ අපොන්සු, සිවුවැනි ඕවරයේදී රූට්ගේ කඩුල් බිඳ දැමුවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 21 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 150 ක් ලබාගත් අතර එහිදී ආදිල් රෂීඞ් ලකුණු 36 කට කඩුලු 4 ක්ද, ටොම් කරන් ලකුන් 17 කට කඩුලු 3 ක්ද බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් නිරොෂන් දික්වැල්ල පන්දු 20 කදී ලකුණු 36 ක් රැස්කළේ හතරේ පහර 8 ක් සමගිනි. සධීර සමරවික්‍රම (35) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දික්වැල්ල සමත් විය. එංගලන්ත කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නා වූ ක්‍රිස් වෝක්ස්ගේ මුල් ඕවර 2 තුළදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 20 ක් රැස්කිරීමටද දික්වැල්ල සමත් විය.

ටොම් කරන්ගේ පන්දුවක් හමුවේ මිඞ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ක්‍රිස් වෝක්ස් අතට උඩ පන්දුවක් දෙමින් දික්වැල්ල දැවී යෑමත් සමග පළමු කඩුල්ලේ සම්බන්ධතාව බිඳ වැටිණ. දික්වැල්ලගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ට මුහුණදීමට හැකි වූයේ එක් පන්දුවකට පමණි. ලකුණු ලබාගැනීමටත් පෙරාතුව කුසල්ගේ කඩුල්ල බිඳ දැමීමට ආදිල් රෂීඞ් සමත් විය.

ඉන් නොනැවතුන රෂීඞ්, 13 වැනි ඕවරයේ පිට පිට පන්දු 2 කදී සධීර සමරවික්‍රම (35) සහ තිසර පෙරේරාද (0) පිටියෙන් ඉවත් කරමින් ලකුණු 94 කට කඩුලු 2 ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 94 කට කඩුලු 4 ක් බවට පත්කළේය. ක්‍රිස් වෝක්ස් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 34 කට මුහුණදී සිටි සධීර, සිය ඉනිමට හතරේ පහර 4 ක් අන්තර්ගත කර තිබිණ. ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ජේසන් රෝයි අතට උඩ පන්දුවක් දෙමින් තිසර දැවී ගියේ ඔහු මුහුණදුන් පළමු පන්දුවේදීමය.

පන්දු 10 කට මුහුණදුන්නද ලකුණු ලබාගැනීමේ අරගලයක නිතර වූ ධනංජය ද සිල්වාට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට නොහැකි විය. ටොම් කරන්ගේ පන්දුවක් හමුවේ මිඞ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ජේසන් රෝයි රැකගත් අනගි උඩ පන්දුවක් හමුවේ ධනංජයගේ ඉනිම ලකුණු 3 කට සීමාවිය. අඩාල වී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දැමීමේ උත්සාහයක නිරත වූ දසුන් ශානක පන්දු 10 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග වේගවත් ලකුණු 21 ක් රැස්කළේය. එහෙත් ලකුණු අවශ්‍යම මොහොතක ආදිල් රෂීඞ්ගේ ගුග්ලි පන්දුවට ගොදුරක් වෙමින් ඔහු දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට 6 වැනි කඩුල්ලත් අහිමි කරමිනි.

සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිස එක් අන්තයක් ආරක්ෂා කරගෙන පන්දුවට පහරදුන් නායක දිනේෂ් චන්දිමාල් දැවී ගියේ අවසන් ඕවරයේදී ටොම් කරන්ගේ පන්දුවක් හමුවේ ස්කුප් පහරක් ගැසීමට යෑමේදිය. ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි ආදිල් රෂීඞ් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට චන්දිමාල් පන්දු 42 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 34 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනූ එංගලන්ක කණ්ඩායමේ නායක ඔයින් මෝගන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියේය. වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර 21 කට සීමා කර ඇති අතර එහිදී එක් පන්දු යවන්නකුට ඕවර 5 ක්ද, තවත් පන්දු යවන්නන් සිවුදෙනකුට ඕවර 4 බැගින්ද යැවිය හැකිය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 3 ක් සමගින් මෙම තරගයට ක්‍රීඩා කරන අතර එහිදී කුසල් පෙරේරා, උපුල් තරංග සහ ලක්ෂාන් සඳකැන් වෙනුවට කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම සහ අමිල අපොන්සු කණ්ඩායම ඇතුළත්ව සිටිති. ආබාධයකට ලක්ව නැවත එංගලන්තය බලා පිටත්ව ගිය දඟ පන්දු යවන ක්‍රීඩක ලයාම් ඩෝව්සන් වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ටොම් කරන් මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමට කැඳවා සිටියි.

 

 

-036

ශ්‍රී ලංකා - එංගලන්ත තෙවැනි එක්දින තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (0)

එංගලන්තය කඩුලු 7 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.