Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තය එක්දින තරගාවලිය ජයගනී

එංගලන්තය එක්දින තරගාවලිය ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 18 ක ජයක් අක්තර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙස ජයගැනීමටද එංගලන්තයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 274 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම ඕවර 27 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියේය. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා ඒ වන විට අවශ්‍ය වී තිබුණේ ලකුණු 115 ක් පමණි. ලකුණු සම ඉලක්කය 114 ක් විය.

තරගය නතර කරන විට ජෝ රූට් ලකුණු 32 ක්ද, නායක ඔයින් මෝගන් ලකුණු 31 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව එංගලන්ත කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 56 කි.

ලකුණු 22 ක් ලබා සිටියදී රූට්, තමාගේ පිත්තටම පැමිණි ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ  ෂෝට් ෆයින් ලෙග් කළාපේ පන්දු රකිමින් සිටි ලසිත් මාලිංග අතට උඩ පන්දුවක් දුන්නේය. එය රැකගැනීමට මාලිංග සමත් වුවද, ඒ වන විට යාර 30 සීමාවෙන් පිටත නියමිත සංඛ්‍යාවට වඩා වැඩිපුර පන්දු රකින්නකු රඳවා තිබීම හේතුවෙන් පා ඉන්න පැත්තේ විනිසුරුවරයා එය නිපන්දුවක් බවට සංඥා කළේය. එමගින් රූට්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා වූවා පමණක් නොව එංගලන්ත කණ්ඩායමට නිදහස් පහරක්ද හිමිවිය.

මුලු ලකුණු සංඛ්‍යාව 52 ක් වන විට එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට අකිල ධනංජය සමත් විය. කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ විශිෂ්ඨ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් දැවීයන විට හේල්ස් ලබා සිටියේ ලකුණු 12 ක් පමණි.

ඉන් නොනැවතුණ අකිල, හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 45 ක් ලබා සිටි ජේසන් රෝයි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේ ඔහුට සිය 13 වැනි එක්දින අර්ධ ශතකය ලබාගැනීමට තිබූ අවස්ථාවද අහිමි කරමිනි. රෝයි කඩුල්ල මුවා කළ බවට ශ්‍රී ලංකා පන්දු රකින්නන් කළ ඉල්ලීම ප්‍රධාන විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළද, එය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පියවර ගැනීමත් සමග රෝයි දැවීගිය ක්‍රීඩකයකු බව සනාථ විය.

උප නායක තිසර පෙරේරා (44) සහ අකිල ධනංජය (නොදැවී 32) එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ගොඩනැගූ ලකුණු 56 ක වේගවත් සම්බන්ධතාව හමුවේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 273 ක් ලබාගත්තේය.

ඕවර 40 ක් අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 190 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට දසුන් ශානකගේ, තිසර පෙරේරාගේ සහ අකිල ධනංජයගේ වේගවත් පිතිහරඹයන් හමුවේ අවසන් ඕවර 10 තුළදී තවත් ලකුණු 83 ක් රැස්කිරීමට හැකි විය. අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ අකිල ධනංජය පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු රැස්කළේය. අවසන් ඕවරයේ පස්වැනි පන්දුවේදී දුවද්දී දැවීයෑමකට හසුවන විට පන්දු 41 කට මුහුණදී සිටි තිසරගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත වී තිබිණ.

මන්දගාමී වෙමින් තිබූ ශ්‍රී ලංකා ඉනිමට නව ජවයක් එක් කළ දසුන් ශානක, පන්දු 66 කදී ලකුණු 66 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. එය ඔහුගේ දෙවැනි එක්දින අර්ධ ශතකය මෙන්ම එක්දින තරගයකදී ඔහු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් විය. තිසර පෙරේරා සමග එක්ව ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනගා සිටියදී, නොතිබූ ලකුණක් ලබාගැනීමට ගොස් දුවද්දී දැවී යෑමකට හසුවීම නිසා ශානකට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

ධනංජය ද සිල්වා (17) සමග එක්ව ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ලකුණු 50 සම්බන්ධතාවක් ගොඩනැගීමටද ශානක සමත් වූ අතර කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර්ගේ සහයද ඇතිව ධනංජය දවාගත් ටොම් කරන් එම සම්බන්ධතාවට තිත තැබීය.

පිට පිටම තරග 3 කදී ලකුණු නොළබා දැවී ගිය කුසල් මෙන්ඩිස්ට මෙම තරගයෙදීද සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අවස්ථාවක් නොලැබිණ. ආදිල් රෂීඞ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුමෙන් දැවීයන විට පන්දු 14 කට මුහුණදී සිටි මෙන්ඩිස් ලබා සිටියේ ලකුණු 5 ක් පමණි. එහිදී ඔහු ලබාගත් ලකුණක් පාසා නරඹන්නන් ප්‍රීති ඝෝෂා කරන අයුරු දක්නට ලැබිණ.

තරමක් ඉවසිලිවන්ත පිතිහරඹකය නිතර වූ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 70 කට මුහුණදෙමින් හතරේ පහර 5 ක් සමග සිය හත්වැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තේය. මුයින් අලීගේ පන්දුවක් හමුවේ තමා කඩුල්ල මුවා කළ බවට ප්‍රධාන විනිසුරුවරයා ලබාදුන් තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කිරීමට දික්වැල්ල පියවර ගත්තද, තෙවැනි විනිසුරුවරයාද ප්‍රධාන විනිසුරුගේ තීරණයට එකඟ වීම හේතුවෙන් ඔහුට ක්‍රීඩාගාරය බලා ගමන් කිරීමට සිදුවිය.

දික්වැල්ල සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 87 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම යම් ස්ථාවර තත්වයකට රැගෙන ඒමට නායක දිනේෂ් චන්දිමාල් (33) සමත් විය. එහෙත් මුයින් අලීගේ පන්දුවක් හමුවේ ඉදිරියට පැන පහරක් ගැසීමට යෑමේදී චන්දිමාල්ගේ පිත්ත සහ පා අවරණය අතරින් ඇදී ගිය පන්දුව කඩුල්ලේ දැවටීමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. පිටියෙන් ඉවත්ව යන විට පන්දු 47 කට මුහුණදී සිටි චන්දිමාල්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ.

 

ඡායාරූප - චතුර එස්. කොඩිකාර


අදහස් (0)

එංගලන්තය එක්දින තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.