Last Update  :  2024-05-15 11:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අවසන් එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

අවසන් එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

Nisanka Sandeepani - 2018 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 219 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. නමුත් තරගාවලියේ ජය 3-1 ක් ලෙස එංගලන්ත කණ්ඩායම සතුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 367 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට ඕවර 26.1 කදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 132 ක් පමණි. නමුත් වර්ෂාවට තරගය නතර කරනවිට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායමේ ඉලක්කය 352 ක් විය.

හුදකලා සටනක නිරතවූ බෙන් ස්ටෝක්ස් ලකුණු 67 ක් රැස්කර සිටියදී අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ තිසර පෙරේරා අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. පන්දු 60 කට මුහුණදුන් ස්ටෝක්ස්ගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත් විය.

ජෝ රූට් දැවීයාමෙන් පසුව පිටියට පිවිසි මොයින් අලී සහ බෙන් ස්ටෝක්ස් එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 66 කදී ලකුණු 78 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩා වැටුණු එංගලන්ත ඉනිම ගොඩනැගීමට උත්සහ දැරුවද ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඊට අවස්ථාවක් ලබානොදුන්හ. හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් පන්දු 37 කදී ලකුණු 37 ක් රැස්කර සිටියදී අකිල ධනංජයගේ පන්දුවකට ලබාදුන් අපහසු උඩපන්දුවක් දිනේෂ් චන්දිමාල් ඉතාමත් දක්ෂ ලෙස රැකගැනීමත් සමගින් මුයින් අලීගේ ඉනිම අවසන්විය.

යළිත් ක්‍රියාත්මක වූ දුෂ්මන්ත චමීර එංගලන්ත කණ්ඩායම තවත් අගාධයට ඇඳ දමමින් සිවුවැනි කඩුල්ල ලෙස ජෝ රූට් දවාගැනීමට සමත්විය. සධීර සමරවික්‍රම අතට උඩපන්දුවක් දෙමින් ජෝ රූට් ලකුණු 10 කට දැවී ගියේය.

කසුන් රාජිත සමගින් අනෙක් අන්තයෙන් පන්දු යැවීම ආරම්භ කළ දුෂ්මන්ත චමීර දෙවැනි පන්දුවේදී ඇලේක්ස් හේල්ස් ලකුණූ ලබාගැනීමට ප්‍රථම පිටියෙන් ඉවත් කළේය. ඉන් නොනැවති සිවුවැනි පන්දුවේදී ජොස් බට්ලර්ද ලකුණු ලබාගැනීමට ප්‍රථම පිටියෙන් ඉවත් කිරීමට දුෂ්මන්ත චමීර සමත්විය. දක්ෂ පන්දු රැකීමක නිරතවූ කුසල් මෙන්ඩිස් දෙවැනි ස්ලිප්හී සිට රැකගත් උඩපන්දුව හේතුවෙන් ඇලේක්ස් හේල්ස් දැවී ගිය අතර තෙවැනි කඩුල්ල ලෙස ජොස් බට්ලර් කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වෙත උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පළමු ඕවරයේ අවසන් පන්දුවේදී කසුන් රාජිත යවන ලද යෝකර් පන්දුවක් හමුවේ එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ජේසන් රෝයී ලකුණු 4 කට දැවී ගියේය.

අකිල ධනංජය ලකුණු 19 කට කඩුලු 4 ක් සහ දුෂ්මන්ත චමීර ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. කසුන් රාජිත සහ ධනංජය ද සිල්වා කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.

නිරෝෂන් දික්වැල්ල (95), සධිර සමරවික්‍රම (54), දිනේෂ් චන්දිමාල් (80) සහ කුසල් මෙන්ඩිස් (56) යන මුල් පෙළ පිත්කරුවන් සිවුදෙනාම ලකුණු අතරට පැමිණීම හේතුවෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 366 ක් රැස්කිරීමට සමත්විය.

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී 2017 වසරේ මාර්තු මාසයේදී දිනේෂ් චන්දිමාල්ගේ පිත්තෙන් අවසන් වරට අර්ධ ශතකයක් වාර්තාවූ අතර ඉන් තරග 20 කට පසුව පන්දු 49 කදී අර්ධ ශතයක් ලබාගැනීමට ඔහු අද සමත්විය. වේගය අඩාල කරමින් ටොම් කරන් එවූ පන්දුවකට ගැසූ පහරකින් ඉහළ නැගි උඩපන්දුව ජේසන් රෝයී රැකගැනීමත් සමගින් චන්දිමාල්ගේ ඉනිම අවසන්විය. පන්දු 73 කට මුහුණදුන් චන්දිමාල්ගෙ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් අලංකාර විය.

දිනේෂ් චන්දිමාල් ලකුණක් ලබාසිටියදී මුයින් අලීගේ පන්දුවක් හමුවේ ලෝන්ග් ඕන් කලාපයේ පන්දු රකිමින් සිටි ටොම් කරන් අතට ලබාදුන් උඩපන්දුව අතහැරීමේ ප්‍රතිඵල අත්විදීමට එංගලන්ත කණ්ඩායමට සිදුවිය. ඉන් නිසිඵල නෙලාගත් චන්දිමාල් සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.

පසුගිය තරගවලදී ලකුණු අතර නොසිටි නායක දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 74 කදී ලකුණු 102 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ. හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමගින් පන්දු 33 කදී ලකුණු 56 ක් ලබාගනිමින් කලකට පසුව ලකුණු අතරට පැමිණිමට කුසල් මෙන්ඩිස් සමත්විය. 2017 ජුනී මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන් වරට අර්ධ ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස්ගේ පිත්තෙන් අද අර්ධ ශතකයක් වාර්තාවූයේ තරග 24 කට පසුව වීම කැපී පෙනුණි.

ශතකයට පෙනි පෙනී තිබියදී මුයින් අලී එවූ පන්දුවකට ඉදිරියට පැන ගැසු පහරක් පිත්තේ දාරයේ වැදී ඉහළ නැගි උඩපන්දුව ශෝට් තර්ඞ්මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි ජෝ රූට් රැකගැනීමත් සමගින් නිරෝෂන් දික්වැල්ලගේ ඉනිම ලකුණු 95 කට අවසන් විය. පන්දු 97 කට මුහුණදුන් දික්වැල්ලගේ ඉනිම හතරේ පහර 12 කින් අලංකාර විය.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 84 ක් රැස්කර සිටියදී අදිල් රෂීඞ් යවන ලද 23 වැනි ඕවරයේ පළමු පන්දුව උඩපන්දුවක් ලෙස රැකගත්තේ යැයි ජොස් බට්ලර් කල ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වූ ප්‍රධාන විනිසුරු රුචිර පල්ලියගුරුගේ මහතා එය දැවීයාමක් ලෙස නම් කළේය. නමුත් ඉන් සෑහිමකට පත්නොවූ දික්වැල්ල විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටි අතර පුණරූපන නැරඹූ තෙවැනි විනිසුරු පෝල් රයිෆල් මහතා ඔහු දැවී නොගිය බවට තීරණය කළේය.

මෙම තරගයේදී සිය මංගල එක්දින අර්ධ ශතකය ලබාගැනීමට ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම සමත් වූ අතර පන්දු 48 කට මුහුණදුන් ඔහු හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසීය. මුලු ලකුණු සංඛයාව 137 ක්ව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ මුයින් අලීගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි. දැවී යෑමට පෙර දික්වැල්ල සමග එක්ව ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 115 කදී ලකුණු 137 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සධීර සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගයේදී ලසිත් මාලිංග සහ අමිල අපොන්සු වෙනුවට දුෂ්මන්ත චමීර සහ ලක්ෂාන් සඳකැන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූහ.

නායක ඔයින් මෝගන්, ක්‍රිස් වෝක්ස් සහ ඔලී ස්ටොන් වෙනුවෙට සෑම් කරන්, ලයෑම් ප්ලන්කට් සහ මාක් වුඞ් එංගලන්ත කණ්ඩායමට එක්ව සිටි අතර කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් විසින් මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායම මෙහෙයවනු ලැබීය.

 

 

ඡායාරූප - චතුර එස්. කොඩිකාර


අදහස් (0)

අවසන් එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.