Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ‘ස්කයි’ භීතිකාව මැද ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක්
ඉන්දීය සංචාරය

‘ස්කයි’ භීතිකාව මැද ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක්

editorial - 2023 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

විස්සයි-20 තරගාවලියේදී ලැබූ පරාජයේ අහිමිරි මතක සේයාවන්ට තිත තැබීමේ අරමුණින් යුතුව, නව කණ්ඩායම් සංයුතියක්ද සමග ශ්‍රී ලංකාව හොට (10 වැනිදා) ගුවහටිහිදී ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලිය ආරම්භ කිරීමට සූදානමින් සිටියි. දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර තරගය අද පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය.

ඉකුත් දෙසැම්බර් මස සිය මව්බිමේදී ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කරගත් ශ්‍රී ලංකාව මෙම වසරේදී (2023) සහභාගි වන පළමු එක්දින තරගාවලිය මෙයයි. අවසන් විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එළව එළවා පහරදෙමින් වේගවත් ශතකයක් ලබාගත් සූර්යකුමාර් යාදව් මෙල්ල කිරීම සඳහා ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේදී නව සැලසුම් ක්‍රියාත්මක කිරීමට සිදුව තිබේ. ලොව පුරා ක්‍රිකට් ලෝලීන් සහ විස්තර විචාරකයන් යාදව් හදුන්වනු ලබන්නේ ‘ස්කයි’ යන සුරතල් නාමයෙනි.

කෙසේ වුවත් විස්සයි-20 තරගාවලියේදී විවේක ගන්වා සිටි ඉන්දීය නායක රෝහිත් ශර්මා, හිටපු නායක විරාට් කෝලි සහ උප නායක ලෝකේෂ් ශර්මා මෙන්ම ජයස්ප්‍රීට් බුම්රා, මොහොමඩ් සාමි සහ මොහොමඩ් සිරාජ් යන වේග පන්දු යවන්නන්ද එක්දින තරගාවලිය සඳහා යළිත් ඉන්දීය සංචිතයට කැඳවා තිබීම එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පීඩනය තවත් වැඩි කරනු ඇත.

සංචිතට ඇතුළත් කර තිබුණද අවසන් මොහොතේ බුම්රා මෙම තරගාවලිය සඳහා යොදා නොගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබීම ශ්‍රී ලංකා පිතිකරුවන්ට යම් තරමක හෝ අස්වැසිල්ලක් වනු ඇත. ඇෆ්ඝනිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 3 ස්ථානයේ පිතිහරඹයේ නිරත වූ දිනේෂ් චන්දිමාල් මෙම තරගාවලිය සඳහා නම් කර ඇති සංචිතයට ඇතුළත්ව නොමැති බැවින් වෙනත් ක්‍රීඩකයකු සඳහා එම ස්ථානය හිස්ව පවතී.

අවිෂ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, අෂේන් බණ්ඩාර සහ නුවනිඳු ප්‍රනාන්දු එම ස්ථානය සඳහා තරගවදින පිතිකරුවෝ වෙති. එහිදී බොහෝ දුරට අවසන් විස්සයි-20 තරගයේදී කණ්ඩායමට එක්වූ අවිෂ්කට එම ස්ථානය හිමිවීමට වැඩි අවස්ථාවක් පවතී. එසේ වුවහොත් අවස්ථානුකූලව ඔහු සහ ධනංජය ද සිල්වා අතර අංක 3 සහ 4 ස්ථාන හුවමාරු වීමටද ඉඩකඩ තිබේ.

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කරන චාමික කරුණාරත්න විස්සයි-20 තරග 3 ටම ක්‍රීඩා කළ නමුත් එහිදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට අපොහොසත් විය. එම තරග තුනේදී ලකුණු 34 ක් රැස්කළ චාමික කඩුලු 3 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 115 ක් ලබාදෙමිනි. එබැවින් එක්දින තරගාවලියේදී ඔහුගේ ස්ථානයද අවිනිෂ්ත තත්ත්වයක පවතී.
 
කෙසේ වුවත් චාමික සහ නායක දසුන් ශානක හැරණුකොට වේග පන්දු යැවීමේ හැකියාව ඇති වෙනත් තුන් ඉරියව් ක්‍රීඩකයකුද ශ්‍රී ලංකා සංචිතයේ නොමැති බැවින් දසුන් පන්දු යවන්නකු නොවන්නේ නම් චාමිකට කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරට එක්වීමට අවස්ථාව තිබේ. එසේ නොවුණහොත් ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැති අවසන් එක්දින තරගයේදී පිත්තෙන් දස්කම් දැක්වූ වමතින් දඟ පන්දු යැවීමේ හැකියාවද ඇති තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට එම ස්ථානය හිමිවනු ඇත.

කණ්ඩායමේ වේග පන්දු යවන්නන් දෙදෙනා තීරණය කිරීමේදී පසුගිය තරගවල දැක්වූ දස්කම් අනුව තේරීම් කමිටුවේ පළමු තෝරාගැනීම බවට කසුන් රාජිත පත්වනු ඇතැයි අනුමාන කළ හැකිය. එහෙත් සෙසු වේග පන්දු යවන්නා ලෙස දිල්ෂාන් මධුෂංක ක්‍රීඩා කරනු ඇත්දැයි යන්න තරමක් සැක සහිතය. ආබාධ තත්ත්වයෙන් සුවය ලැබීමෙන් පසුව තවමත් ඔහුව එක්දින තරගයක් සඳහා යොදාගෙන නොතිබීමද, විස්සයි-20 තරගාවලියේදී දැඩි ලෙස පහර කෑමකට ලක්වීමද ඊට හේතු ලෙස දැක්විය හැකිය.

දෙවැනි වේග පන්දු යවන්නා ලෙස දිල්ෂාන් කණ්ඩායමට එක් නොවුණහොත් එම හිදැස පිරවීම සඳහා ළහිරු කුමාර සහ ප්‍රමෝද් මධුෂාන් සූදානමින් සිටිති. එහෙත් ඉන්දීය සංචිතයේ පිතිකරුවන් ලෙස නම් කළ හැකි ක්‍රීඩකයන් සියලු දෙනාම දකුණත් පිතිකරුවන් වීම හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතයේ සිටින එකම වමත් වේග පන්දු යවන්නා වන දිල්ෂාන්ට කණ්ඩායමේ ස්ථානයක් ලබා නොදීම පිළිබඳව තේරීම් කමිටුවට කිහිපවරක්ම සිතා බැලීමට සිදුවනු ඇත.


අදහස් (1)

‘ස්කයි’ භීතිකාව මැද ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක්
  • Kumar (Gulf) Tuesday, 10 January 2023 01:29 AM

    රෑට නොගිහින් හිටියොත් ලංකාවට දිනන්න පුළුවන් වේවි...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.