Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හේසල්වුඩ්ටත් අයි.පී.එල්. එපාවෙයි

හේසල්වුඩ්ටත් අයි.පී.එල්. එපාවෙයි

editorial - 2021 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඔහු මෙම තීරණය ගැනීමට හේතුව වී ඇත්තේ ඉදිරියේ එන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි රැසක් වෙනුවෙන් අවශ්‍ය විවේකය ලබාගැනීම සඳහාය. මෙම වසර අගදී පැවැත්වෙන අළු බඳුන තරගාවලියත් ඕස්ට්‍රේලියාවේ කාර්යබහුල ඉදිරි තරග කාලසටහනට අයත් වේ.

තවමත් 30 හැවිරිදි වියේ පසුවන වේග පන්දු යවන්නා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියේය. ක්‍රීඩා කළේ නම් මෙය ඔහුගේ දෙවැනි අයි.පී.එල්. තරගාවලිය වනු ඇත.

ප්‍රේක්ෂකයන් නොමැතිව, මේ මස 9 වැනිදා ආරම්භ කෙරෙන අයි.පී.එල්. තරගාවලිය මැයි 30 දක්වා පැවැත්වේ. ඊට පෙර සතියක කාලයක් ක්‍රීඩකයන් නිරෝධායනය විය යුතුව තිබේ.

“අයි.පී.එල්. තරගාවලියටත් ගියොත්, මාස 10 ක කාලයක් තිස්සේ විවිධ ජෛව බුබුලු වල ඉන්න වෙනවා. ඒ නිසා ඉදිරි මාස දෙකේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේකයක් අරගෙන ඕස්ට්‍රේලියාවේ ඉන්න මම තීරණය කළා” යයි හේසල්වුඩ් පැවසීය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉදිරි විදේශීය තරගවාරයත් බෙහෙවින් දිගු එකකි. බටහිර ඉන්දීය කොදෙව් සංචාරය තරමක් දීර්ඝ වන අතර එය අවසන් වීමත් සමගම විස්සයි 20 තරගාවලියක් සඳහා බංග්ලාදේශයට යන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සිදුවිය හැකිය.
 
ඒ සමගම වාගේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වෙන අතර අනතුරුව අළුබඳුන තරගාවලියයි. අළුබඳුන තරගාවලියට පෙර ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ඝනිස්ථානය අතර ටෙස්ට් තරගයක්ද ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතය.

“මේක මාස 12 ක විතර දිගු කාලයක්. ඒ සඳහා මානසික හා ශාරීරිකව සූදානම් වීමට හොඳම අවස්ථාව දීමට මට අවශ්‍යයි....මා ගත් තීරණය එයයි. එය මට ගැලපෙනවා” යයිද හේසල්වුඩ පැවසීය.

හේසල්වුඩ්ගේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් සගයන් වන කඩුලු රකින පිතිකරු ජොෂ් පිලිප් සහ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් ද මේ වසරේ අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත් වී සිටිති.


- 213


අදහස් (0)

හේසල්වුඩ්ටත් අයි.පී.එල්. එපාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.