Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හයේ පහර සංදර්ශනයක නිමාව

හයේ පහර සංදර්ශනයක නිමාව

editorial - 2020 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)

හයේ පහර සංදර්ශනයකින් පල්ලෙකැළේ ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගිය ක්‍රිකට් ලෝලීන් අමන්දානන්දයට පත්කළ කොදෙව්වෝ ශ්‍රී ලංකාවට එරෙහිව අද (6 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයත් කඩුලු 7 කින් ජයගත්හ. මෙම ජයත් සමගින් තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගත් කොදෙව්වෝ එක දිගට පැවැති විස්සයි-20 තරග 8 කදී හත්වැනි පරාජයත් ශ්‍රී ලංකා පිලට උරුම කර දුන්හ.

ඉන්දීය පිල හමුවේ පැවැති එක තරගයක් වර්ෂාවට සේදී ගිය අතර පිට පිටම විස්සයි-20 තරගාවලි තුනක් ඕස්ටේ්‍රලියාව (0-3), ඉන්දියාව (0-2) සහ කොදෙව් පිල හමුවේ (0-2) ශ්‍රී ලංකා පිල පරාජය වී තිබේ.

අද තරගයේදී ශ්‍රී ලංකා පිලට බලාපොරොත්තුවක් පැවැතියේ නම් ඒ ෂෙහාන් ජයසූරිය ඩීප් ස්ක්වෙයාර් ලෙග් හි සිට අති විශිෂ්ට උඩපන්දුවක් රැකගත් මොහොතේදී පමණි. දසුන් ශානකගේ කෙටි පන්දුවකට විදුලි වේගයෙන් පුල් පහරක් ගැසූ රෝමන් පවෙල් පන්දුව නරඹන්නන් අතරට යන තෙක් බලා සිටියද ඒ වෙත දිවගිය ෂෙහාන් ජයසූරිය ඇදහිය නොහැකි ලීලාවෙන් උඩපන්දුව රැකගත්තේය. තමන් හතරේ සීමාව වෙත ඇද වැටෙන්නට යන බව දුටු ජයසූරිය වහාම පන්දුව ගුවනට වීසිකර, ඒ ඇසිල්ලෙන් හතරේ සීමාවෙන් ඇතුළට ඇවිදින් උඩපන්දුව සම්පූර්ණ කළේය.

අනතුරුව පිටියට පිවිසි ඔන්ඩ්‍රි රසල් මුහුණ දුන් පන්දු 4 ක් පමණක් නිදැල්ලේ යවමින් පන්දු 10 කින් ලකුණු 40 ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර 6 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි. තරගය අවසන් කිරීමට රසල් ගැසූ පහරින් ඉගිළුණු පන්දුව මිිඩ් විකට් කලාපයට ඉහළින් ඇදී ගොස් නරඹන්නන් අතර සැඟව ගියේය.

ඉතාම පහසු ඉලක්කයක් වූ ලකුණු 155 හඹා යාම සෙල්ලමකට ගත් කොදෙව්වෝ පන්දු 18 ක් ඉතිරිව තිබියදී සිය අරමුණ සාක්ෂාත් කරගත්හ. ඒ වෙනුවෙන් මුහුණ දුන් පන්දු 102 න් 8 ක් හයේ පහර වූ අතර තවත් 11 ක් හතරේ පහර ලෙසින් සටහන් විය.

ඉතාම පැහැදිළිව දැකගත හැකිවූයේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට විශාල පහර කරා යාමට තිබූ අසීරුතාවයි. ශ්‍රී ලංකා ඉනිමේ පන්දු 120 න් පන්දු 45 කට ලකුණු ලබාගත නොහැකි වූ අතර ඉතිරි පන්දු 75 ටම ඇතුළත් වූයේ හතරේ පහර 14 ක් සහ හයේ පහර 2 ක් පමණි.

බොහෝ අවස්ථාවලදී පිත්තටම ලැබුණු පන්දු වලටද වැරෙන් පහරක් ගසාගැනීමට පිතිකරුවන්ට නොහැකි වූ අතර කුසල් මෙන්ඩිස් දැවී ගියේ පිත්තටම ලැබුණු පන්දුවකට ගැසූ පහරකින් ගිය උඩපන්දුවකිනි.

පළමු තරගයේදී කඩුලු 5 ක් දවාගනිමින් තරගයේ වීරයා වූ ඔෂේන් තෝමස් අදත් සිය පළමු ඕවරයේදීම අවිශ්ක ප්‍රනාන්දු දවාගනිමින් ශ්‍රී ලංකා පිලට පළමු පහර ගැසීය. එහෙත් කුසල් ජනිත් පෙරේරා සහ ෂෙහාන් ජයසූරිය දෙදෙනා එක්ව පන්දු 24 කදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 32 ක් එකතු කළ නමුත් පළමු ඕවර 6 නිමාවේදී අපේක්‍ෂා කළ ඉලක්කය කරා ළඟාවීමට ශ්‍රී ලංකා පිලට නොහැකි විය.

ඕවර 15 නිමා වන විට ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 104 ක් පමණි. ලකුණු 150 ක් කරා යාමත් අභියෝගයක්ව පැවැති අවස්ථාවක එක්වූ දසුන් ශානක සහ තිසර පෙරේරා අවසන් ඕවර තුනේදී ලකුණු 39 ක් එකතු කරමින් ශ්‍රී ලංකා පිල ලකුණු 150 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.

වර්තමානයේදී විස්සයි-20 තරගයක් ජයගැනීමට ලකුණු 155 ක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. ඇරත් කොදෙව් පිල වැනි පාංශූ දේහධාරී, ප්‍රචණ්ඩකාරී, හිත් පිත් නැති පිතිකරුවන්ගෙන් ගහණ කණ්ඩායමක් හමුවේ විස්සයි-20 විශේෂඥයා වූ මාලිංගගේ පන්දු 4 ක්ම නරඹන්නන් අතර පතිත විය.

ඡායාරූප -චතුර එස්. කොඩිකාර


අදහස් (2)

හයේ පහර සංදර්ශනයක නිමාව
  • kim Friday, 06 March 2020 06:37 PM

    මාලිංග පව් නොවී වහාම ගෙදර යා යුතුයි.

    Reply 0       0

    Anruddha Monday, 09 March 2020 11:59 AM

    මාලිංග රනිල් වගේ විශිෂ්ට නායකයෙක්.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.