Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සනත්ගේ පුතා රෙනුක් පිත්තෙන් වැඩ අල්ලයි

සනත්ගේ පුතා රෙනුක් පිත්තෙන් වැඩ අල්ලයි

editorial - 2025 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන සනත් ජයසූරියගේ පුතණුවන් වන රනුක් ජයසූරිය, පසුගියදා කුරුණෑගල යොවුන් පිලට එරෙහිව සිය මංගල ක්‍රීඩා සමාජ ශතකය ලබාගත්තේය. අන්තර් ක්‍රීඩා සමාජ 23 න් පහළ (දෙදින) තරගාවලියේදී එස්.එස්.සී. පිල වෙනුවෙන් ක්‍රීඩා කරන රනුක් ජයසූරිය ද වමත් පිතිකරුවෙකි. 

කුරුණෑගල යොවුන් පිලට එරෙහිව කොළඹ සී.සී.සී, පිටියේදී පැවැති තරගයේදී පන්දු 159 කින් රනුක් ලබාගත් ලකුණු 116 ට හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ. රනුක් සිය පියා මෙන්ම වමත් පිතිකරුවකු වන නමුත් තවමත් එතරම් ප්‍රචණ්ඩකාරී පිතිකරුවකු නොවේ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් කුරුණෑගල යොවුන් කණ්ඩායම ලකුණු 273 ක් ලබාගත් අතර එස්.එස්.සී. පිල නම්බුව බේරා ගත්තේ රනුක් සහ කෙනුල් ද සොයිසා (නොදැවී 152) ලබාගත් ශතක දෙකට ස්තුති වන්නටය. එස්.එස්.සී. පිලේ සිව්වැනි කඩුල්ලත් ලකුණු 46 දී බිඳ වැටිණ. එතැන් සිට එක්වූ රනුක් ජයසූරිය සහ කෙනුල් ද සොයිසා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 179 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් එස්.එස්.සී. කණ්ඩායම ඉදිරියට ගෙන ගියහ. 

පන්දු 160 කින් ලකුණු 152 ක් ලබාගත් කෙනුල් ද සොයිසාගේ ඉනිම හතරේ පහර 17 කින් සහ හයේ පහර 5 කින් අලංකාරව තිබිණ. රනුක් දැවීගිය පසුවද, කඩුලු රකින්නා වූ නදීශ ආකාශ් (37) සහ ශෙහාන් හසරංග (34) සමගින් එක්වූ කෙනුල් එස්.එස්.සී. ලකුණු සංඛ්‍යාව ඉහළ දමමින්, ලකුණු 150 සීමාව පසුකර ගියේය. 

එස්.එස්.සී. ක්‍රීඩකයෝ සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 362 ක් ලබාගත්හ. තරගයේ දෙවැනි දිනය නිමාවන විට කුරුණෑගල යොවුන් කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 110 ක් ලබා සිටියෙන් තරගය ජය පරාජයකින් තොරව අවසන් විය. 

වයස 23 න් පහළ තරගාවලියට ක්‍රීඩා කරන නමුත් රනුක් ජයසූරියගේ වයස තවමත් 18 කි. පසුගිය වසරේදී මුල්ම වතාවට එස්.එස්.සී. 23 න් පහළ කණ්ඩායමම වෙනුවෙන් ක්‍රීඩා කළ රනුක් ජයසූරිය එදා කෝල්ට්ස් පිලට එරෙහිව සිය මංගල ක්‍රීඩා සමාජ තරගයේදීම අර්ධ ශතකයක් ලබාගත්තේය.


අදහස් (0)

සනත්ගේ පුතා රෙනුක් පිත්තෙන් වැඩ අල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.