Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සටනක් දෙන්න අපි සූදානම්

සටනක් දෙන්න අපි සූදානම්

editorial - 2021 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එය ගල උඩ සටනක් නොවේ. ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ දෙවැනි පෙළ ඉන්දීය කණ්ඩායමක් යයි හිටපු ටෙස්ට් නායක අර්ජුන රණතුංග මහතා ඝෝරනාඩු කළද ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය අනුව ඉන්දියානු ක්‍රීඩකයන් අත්දැකීම් අතින් ඉදිරියෙන් සිටින බව ශ්‍රී ලංකා නායක දසුන් ශානකත් පිළිගනී.

එහෙත් පසුබැසීමට දසුන් සූදානම් නැත. මොන තත්ත්වය තිබියදී හෝ සටනක් දීමට ඔහු සූදානම් වෙයි.

“ජයගැනීම අපට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒත් මට කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම හොඳ තරගයක් දෙනවා කියන එක. මොකද ඒ ගැන මට විශ්වාසයක් තියෙනවා. මම මෙතන ඉන්න ක්‍රීඩකයන්ව ගොඩක් විශ්වාස කරනවා”  යයි අද පස්වරුවේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී දසුන් පැවසීය.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමේදී කට ඉස්සරකර නොගැනීමට දසුන් පරෙස්සම් වූවත්, ඔහුගේ ස්වරය තුළ “මට පුළුවන් දේ මම කරනවා” යන ස්ථාවරය ගැබ්වී තිබිණ.

“මම ඒගොල්ලන්ට (ක්‍රීඩකයන්ට) ගොඩාක් කතා කළා. කොහොමද (මේ තරගයේදී) යම් යම් දේ වෙන්න ඕන කියලා. අපි ඉස්සරවෙලාම අපේ ශක්තිය මොකක්ද කියලා දැනගන්න ඕන. මම ඒගොල්ලන්ට කතා කරලා සැලැසුම් හදාගෙන තියෙනවා. ඒවා සාර්ථක වේවි කියලා මම හිතනවා” යයි ද මේ වසර තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ තුන්වැනි නායකයා වන දසුන් ශානක පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමට පිටියට පිවිසීමට සිදුව ඇත්තේ මහත් අභියෝගාත්මක තත්ත්වයන් යටතේය යන්න රහසක් නොවේ. වෙනකක් තබා කණ්ඩායමේ කඩුලු රකින්නා කවුරුන්ද යන්නවත් අද සවස පුහුණු සැසිය ආරම්භ වන විට නිගමනයක් නොතිබිණ. එහෙත් දිනය අවසානයේදී එය මිනෝද් භානුකට පැවරීමේ එකඟතාවක් තේරීම් කමිටු නිලධාරීන් සහ කණ්ඩායම අතර තිබිණ.

හෙට තරගය සඳහා මෙන්ම, සාර්ථක වුවහොත් තරගාවලිය සඳහාත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය වන්නේ පිතිකරුවෝ 6 ක්, තුන් ඉරියව් ක්‍රීඩකයෝ 2 ක් සහ පන්දු යවන්නෝ 3 කි. කෙසේ හෝ නායක දසුන් ශානකට තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනා අතරට පිවිසිය හැකිවේ නම් අතිරේක පිතිකරුවකු හෝ පන්දු යවන්නකු කණ්ඩායමට එකතු කරගත හැකිය. එහෙත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නැති අඩුව පහසුවෙන් අමතක කළ හැක්කක් නොවේ.

“ඉස්සෙල්ලාම බලන්න ඕන අපේ සංයුතිය කොහොමද තියෙන්නේ කියලා. ඉස්සරහට යනකොට ජ්‍යෙෂ්ඨයන් අපට ඕනෑ වෙනවා.........”

“ඔවුන්ගේ වටිනාකමක් තියෙනවා. ඔවුන්ගේ අත්දැකීම් තුළින් තමා තරුණ ක්‍රීඩකයන් ඉගෙනගන්නේ... ඒත් මේ වෙලාවේ අපේ ක්‍රිකට් පහළට වැටෙන්න දෙන්න බෑ. මොකද අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ කිසියම් තත්ත්වයක් තියෙනවා. ඒක තියාගන්න ඕනෑ” යයිද දසුන් මාධ්‍ය නියෝජිතයන් හමුවේ පැවසීය.

දසුන්ට සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා ධනංජය ද සිල්වායි. ඊයේ සවස ධනංජයගේ සහභාගිත්වයද අවිනිශ්චිත තත්ත්වයක තිබූ නමුත් ස්කෑන් පරීක්‍ෂණයකින් පසුව එය සමනය විය.

“ධනංජයට ලෙකු ප්‍රශ්නයක් නෑ. එයා අනිවාර්යයෙන්ම හෙට තරගයේදී ක්‍රීඩා කරනවා” යයි දසුන් තහවුරු කළේය. ඒ කෙසේ වෙතත් හෙට තරගයේදී කෝඩුකාරයන් කිහිප දෙනකුම දැකගතහැකි බවටත් නායකයා ඉඟි කළේය.

තවත් අතකින් බලන කල්හි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මේ ගතකරන්නේ අතිශය අසීරු අවධියකි. එංගලන්ත සංචාරය වෙනුවෙන් මැයි මාසයේ මැදදී ජෛ්‍යව බුබුළකට ඇතුළත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මාස තුනකට ආසන්න කාලයක් එහි සිරවී සිටිති. තමන්ගේ ආදරණීයයන්ගෙන්, ළබැඳියන්ගෙන් එතරම් කාලයක් ඈත්වී සිටීම බටහිර අයට කෙසේ වෙතත් පෙරදිග සංස්කෘතියට අනුගත වූ ශ්‍රී ලාංකිකයන්ට එතරම් පහසු නොවේ. එහෙත් ඔව්හු ධෛර්ය සම්පන්නව ඊට සූදානමින් සිටිති.

“මාස දෙක හමාරක් වගේ කාලයක් අපි ජෛව බුබුලකට හිරවෙලා හිටියා. දැන් නම් පුරුදු වෙලා ඉන්නේ. මොකද මේ තත්ත්වයත් එක්ක අපි ඉදිරියට යන්න ඕනේ”  

“එංගලන්තේ ඉඳන් ආවට පස්සේ පවුල්වල සාමාජිකයන් අපිත් එක්ක එකතු වෙන්න හිටියේ. ඒත් ග්‍රාන්ට් ෆ්ලවර්ට කොරෝනා අසාදනය වෙච්ච නිසා තමයි ඒ තත්ත්වය මඟ හැරුණේ” යයි දසුන් කීවේය.

නායකත්වය සම්බන්ධයෙන් නම් විශාල බලාපොරොත්තු දසුන්ට නැත. ඔහු එන විදියට මුහුණ දීමට සූදානමින් සිටී. එහෙත් නායකයකුට සාර්ථක වීම සඳහා කිසියම් සාධාරණ කාලයක් අවශ්‍ය බවත්, තමන් කළත් වෙන කෙනෙක් කළත් තත්ත්වය ඒකම බවත් දසුන් කියයි.

ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ පළපුරුදු ආරම්භක පිතිකරුවකු වන ෂිකාර් ධවාන් විසිනි. ඔහුගේ කණ්ඩායමේත් නවකයෝ 6 ක් සිටිති.

පළමු එක්දින තරගය සඳහා ඉන්දීය ක්‍රීඩකයින් පුහුණුවීම්වල යෙදෙමින්....

ඉන්දීය කණ්ඩායම අවසන් වරට (වසර 2017) ශ්‍රී ලංකාවේදී කළ සංචාරයේ පැවැති එක්දින තරගාවලියේදී 5-0 ක පරාජයක් ශ්‍රී ලංකා පිලට උරුම කළේය. එම සංචාරයේ තරග 5 කදී විරාට් කෝලි (ලකුණු 330) සහ රෝහිත් ෂර්මා (ලකුණු 302) ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසි සේ පහර දුන්හ. ජස්ප්‍රීට් බුම්රා කඩුලු 15 ක් දවාගත්තේ එකකට 11.26 ක සාමාන්‍යයක් පවත්වා ගනිමිනි. එහෙත් මෙවර සංචාරයේදී ඒ තිදෙනාම ඉන්දීය කණ්ඩායම සමග නොසිටිම ශ්‍රී ලංකා පිලට සහනයකි.

දෙරටේ අවසන් එක්දින තරග 20 ගතහොත් ඒවායින් තරග 16 ක ජය ඉන්දියාවටත්, තරග 4 ක ජය පමණක් ශ්‍රී ලංකාවටත් හිමිව තිබේ.


හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇතැයි අපේක්‍ෂා කරන ක්‍රීඩකයෝ
දසුන් ශානක (නායක) අවිශ්ක ප්‍රනාන්දු, මිනෝද් භානුක, භානුක රාජපක්‍ෂ, ධනංජය ද සිල්වා, චරිත් අසලංක හෝ අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ඉසුරු උදාන, දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න

හෙට තරගයේදී ඉන්දීය කණ්ඩායම නියෝජනය කරනු ඇතැයි අපේක්‍ෂා කරන ක්‍රීඩකයෝ
ෂිකාර් ධවාන් (නායක), ප්‍රිත්වි ෂෝ, ඉෂාන් කිෂාන්, සූර්යකුමාර් යාදව්, මනීෂ් පාණ්ඩේ, හර්දික් පාණ්ඩ්‍යා, කෘනාල් පාණ්ඩ්‍යා, දීපාක් චහාර්, බුවනේෂ්වර් කුමාර්, රාහුල් චහාර් සහ චේතන් සකාරියා

 


අදහස් (0)

සටනක් දෙන්න අපි සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.