Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිතාර - රොමේෂ් සා.තෝමස් විදුහල ඔසවා තබති

සිතාර - රොමේෂ් සා.තෝමස් විදුහල ඔසවා තබති

ශනුක අරවින්ද - 2017 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිතාර හපුහින්න සහ නායක රොමේෂ් නල්ලප්පෙරුම එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 81 ක නොබිඳුණු සම්බන්ධතාව හේතුවෙන් කොළඹ රාජකීය විදුහල සමග එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 138 වැනි නිල් මහ සටන මහා ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (10) පස්වරුවේ අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නතර කරද්දී සාන්ත තෝමස් විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 කට ලකුණු 255 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසු විය.


අද පස්වරුවේ තේ පානයෙන් මොහොතකට පසුව තරගය නතර කරද්දී සිතාර හපුහින්න ලකුණු 54 ක්ද, රොමේෂ් නල්ලප්පෙරුම ලකුණු 32 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. මුලු ලකුණු සංඛ්‍යාව 174 ක්ව තිබියදී සිවුවැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව පිටියට පිවිසි නායක නල්ලප්පෙරුම සිය සගයා සමග එක්ව මුලු ලකුණු සංඛ්‍යාව 255 දක්වා ඉහළ දමමින් රාජකීය විදුහලේ පළමු ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව සම කරගත්තේය. දැන් ඔවුන්ගේ අරමුණ රාජකීය විදුහලට දෙවැනි ඉනිමේදී අභියෝගයක් එල්ල කිරීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් හෙට දිනයේදී රැස්කිරීමයි. ඒ සඳහා ඔවුන්ට තවත් කඩුලු 6 ක් ඉතිරිව තිබේ.


අද දිවා ආහාරය සඳහා තරගය නවත්වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 127 ක් ලබා සිටි සාන්ත තෝමස් විදුහල තේ පානයට පෙර තවත් කඩුලු 3 ක් අහිමි කරගත්තේ ලකුණු 47 ක් ඇතුළතය. එහෙත්  රවිඳු කොඩිතුවක්කුගේ විශිෂ්ට පිතිහරඹයෙන් ශක්තිමත් වූ සාන්ත තෝමස් විදුහල් ඉනිම ඉදිරියට ඇද ගෙන ගිය සිතාර සහ නායක රොමේෂ් රාජකීය විදුහලේ පන්දු යවන්නන් ඇද බැඳ තබාගනිමින් රිසිසේ ලකුණු රැස් කිරීමට සමත් වූහ.


අද උදෑසන සියලු ගෞරව දිනාගත් සාන්ත තෝමස් විදුහලේ උප නායක රවිඳු කොඩිතුවක්කු කැපී පෙනෙන පිතිහරඹයක නිරත විය. කෙසේ වෙතත් ඔහුට ගෞරවනීය ශතකයකට හිමිකම් කීමට තිබූ විරල අවස්ථාව ලකුණු 2 කින් අහිමිව යාම ඉතා කණගාටුදායක කරුණකි. ඔහු දැවී ගියේ හේෂාන් රාමනායකගේ පන්දුවකට ගනිත් සංදීප වෙත උඩපන්දුවක් ලබා දෙමිනි.


කාසියේ වාසිය දිනූ සාන්ත තෝමස් විදුහල් පිලේ නායක රොමේෂ් නල්ලප්පෙරුමගේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොළඹ රාජකීය විදුහල් පිල තරගයේ පළමු දිනය වූ ඊයේ (9) පස්වරුවේ ලකුණු 255 ට දැවී යාමෙන් පසුව සිය ඉනිම ආරම්භ කළ සාන්ත තෝමස් විදුහල් පිල ඊයේ දිනය නිමාවන විට කිසිවකු නොදැවී ලකුණු 33 ක් ලබා සිටියේය.


රාජකිය විදුහල පළමු ඉනිම - 255

(හිමේෂ් රාමානායක 41, රොනුක ජයවර්ධන 32, ගනිත් සංදීප 42, පසිඳු සූරියබණ්ඩාර 35, කවිඳු මදරසිංහ 38, තෙවිඳු සේනාරත්න 19, කළණ පෙරේරා 47/5, පවිත් රත්නායක 69/2)


සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - 255/4

(රවිඳු කොඩිතුවක්කු 98, දුලාජ් ගුණරත්න 35, සිතාර හපුහින්න නොදැවී 54, රොමේෂ් නල්ලප්පෙරුම නොදැවී 32, හිමේෂ් රාමනායක 43/2, ගනිත් සංදීප 35/1, මංජුල පෙරේරා 28/1)


අදහස් (0)

සිතාර - රොමේෂ් සා.තෝමස් විදුහල ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.