Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ෂර්මා - ඉෂාන් - ශ්‍රෙයාස් ශ්‍රී ලංකාව වනසති
පළමු වි-20 තරගය

ෂර්මා - ඉෂාන් - ශ්‍රෙයාස් ශ්‍රී ලංකාව වනසති

editorial - 2022 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඕස්ට්‍රේලියාවේදී ලද අමතක කළ යුතු පරාජයකින් පසුව ඉන්දියාවට පැමිණි ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වූ රෝහිත් ෂර්මා, ඉෂාන් කිෂාන් සහ ශ්‍රෙයාස් අයියර් ලක්නව් නුවරදී අද (24 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී ලකුණු 62 ක දැවැන්ත ජයක් කරා ඉන්දීය කණ්ඩායම කැඳවාගෙන ගියහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියානුවෝ ඕවර 20 කින් ලකුණු 199 ක් උදුරා ගත්හ. ඉනිම පුරාම හතරේ පහර 17 කින් සහ හයේ පහර 6 කින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිදවූ ඉන්දීය පිතිකරුවෝ ශ්‍රී ලංකා පන්දු යැවීම සෙල්ලමකට ගත්හ. ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ කඩුලු 6 ක් දැවී ලකුණු 137 කි.

සටන්කාමී පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක පන්දු 47 කින් නොදැවී ලකුණු 53 ක් ලබාගත් නමුත් නායක දසුන් ශානක තරගයට පෙරදී කී පරිදිම, මුල් ඕවර කිහිපයේදී කඩුලු බිඳ වැටීම ශ්‍රී ලංකාවේ මහත් අවාසියට සිටියේය. පළමු ඕවර 11 නිමාවන විට ලකුණු 60 කට කඩුලු 5 ක් බිඳ වැටී තිබිණ. එතැන් සිට, අවසන් පන්දු 54 න් ලකුණු 140 ක් ඕනෑකර තිබුණත් ඊට සරිලන පිතිකරුවෝ ශ්‍රී ලංකා පිලේ නොසිටියහ.

පළමු පන්දුවේදීම පැතුම් නිස්සංක දැවී යාම හේතුවෙන් භයංකාර ආරම්භයකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම එතැනදීම පහළට ඇද වැටිණ. එතැනින් ගොඩ ඒගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේ කෙසේ හෝ ඕවර 20 නිමා වනවිට හැකි තරම් ලකුණු සංඛ්‍යාවක් ලබාගනිමින් පරාජයේ දිග පළල අඩු කිරීම විනා ජයග්‍රහණයක් කරා යාම නොවේ.

නායක රෝහිත් ෂර්මා සමගින් එක්ව පන්දු 71 කින් පළමු කඩුල්ල සඳහා  ලකුණු 111 ක් එකතු කළ ඉෂාන් කිෂාන්, සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට මුහුණ දුන්නේ පන්දු 30 කට පමණි. ඉෂාන්ට සිත්සේ ලකුණු රැස්කිරීමට අවකාශ දෙමින් ඉන්දීය නායකයා අනෙක් අන්තයේ සිට සහයෝගී පිතිහරඹයක නිරත විය. පන්දු 32 කින් ලකුණු 44 ක් ලබාගත් රෝහිත්ගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 4 ක් සහ හයේ පහරකි.

ගිණිකෙළි සංදර්ශනය ආරම්භ වූයේ රෝහිත්ගේ දැවී යාමෙන් පසුවය.  පිතිකරු ලයිස්තුවේ ඉහළින් පැමිණි ශ්‍රෙයාස් අයියර් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගල ග්‍රහයෙන් ගෙන බිම හෙළුවේය. ශ්‍රෙයාස්ගේ පන්දු 28 ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහර දෙකකින් හැඩ වැඩ වී තිබිණ. එහි වඩාත්ම අලංකාර කොටස වූයේ අවසන් ඕවර 3 යි.

ඉෂාන් කිෂාන් ලකුණු 89 කට දැවී යාමෙන් පසුව යැවුණු අවසන් ඕවර 3 දී, පන්දුවට පහරදීමේ වැඩි අවස්ථාව තමන් වෙත රඳවාගනිමින්, ශ්‍රෙයාස් අයියර්, පන්දු  14 කින් ලකුණු 40 ක් ලබාගත්තේය. අනෙක් අන්තයේ සිටි රවීන්ද්‍ර ජදේජාට ලබාගැනීමට අවසර ලැබුණේ ලකුණු 03 කි.

පසුගිය වසර අවසානයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත නොහැකි වූ නමුත් ඉන්දියානුවෝ මේ වන විට එක දිගට විස්සයි-20 තරග 10 ක් ජයගෙන සිටිති.  අද තරගය ජයගැනීමත් සමගින් විස්සයි-20 අන්තර්ජාතික තරග වැඩිම සංඛ්‍යාවක් එක දිගට ජයගැනීමේ ලෝක වාර්තාව හිමි ඇෆ්ඝනිස්ථානයට (12) සහ රොමේනියාවට (12) ආසන්න වීමට ඉන්දියානුවන්ට අවස්ථාව ලැබී තිබේ.

- 213


අදහස් (0)

ෂර්මා - ඉෂාන් - ශ්‍රෙයාස් ශ්‍රී ලංකාව වනසති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.