දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ 12 වැනි දිනය වූ අද (30) ශ‍්‍රී ලංකා පිරිමි ක‍්‍රිකට් පිල විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
ඉංචියොන් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද පස්වරුවේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 117 කින් සත්කාරක දකුණු කොරියාව පරාජය කළේය.
අද පැවැත්වෙන බංග්ලාදේශය සහ කුවේට් අතර අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ලබන කණ්ඩායමට එරෙහිව ශ‍්‍රී ලංකාව අනිද්දා (02) පස්වරුවේ අවසන් පූර්ව තරගයට සහභාගි වෙයි.
ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 173 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය දකුණු කොරියානු ඉනිම ඕවර 16.4 කදී ලකුණු 55 කට සීමා කළහ. එහිදී චතුරංග ද සිල්වා ලකුණු 8 කට කඩුලූ 3 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
දකුණු කොරියානු පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිලේ දෙවැනි කඩුල්ලට දිනේෂ් චන්දිමාල් (83) සහ උපුල් තරංග (54) ලකුණු 126 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
දිනේෂ් චන්දිමාල් කෝඩුකාර කොරියානු පන්දු යවන්නන්ට මතකයේ රැදෙන ප‍්‍රහාරයක් දියත් කරමින් පන්දු 51 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 83 රැස් කළේය.
එහිදී කැපී පෙනෙන සිද්ධිය බවට පත්වූයේ චන්දිමාල්ගේ පළමු හයේ පහර ක‍්‍රීඩාංගණයෙන් පිටත කැළයේ පතිත වූ අතර එය කොරියානු පන්දු රකින්නා කැළයට ගොස් සොයාගෙන පැමිණීමය.
චන්දිමාල්ගේ දෙවැනි හයේ පහර තණතීරුවට කෙළින්ම ක‍්‍රීඩාංගණයේ පිටත ඇති ඇළට වැටුණු අතර එය සොයා ගැනීමට නොහැකි වීමෙන් වෙනත් පන්දුවක් ලබා ගැනීමට සිදුවිය.
උපුල් තරංග පන්දු 41 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 54 ක් රැස් කළේය.
ශ‍්‍රී ලංකා පිලේ නායක ළහිරු තිරිමාන්න ජයග‍්‍රහණයෙන් පසුව පැවසුවේ බංග්ලාදේශ පිලට එරෙහිව පැවැත්වෙන අවසන් පූර්ව තරගය මෙම තරගාවලියේ ඉතාමත් වැදගත් තරගය බවත් ශ‍්‍රී ලංකාවට රන් පදක්කම ගෙන යෑම කණ්ඩායමේ සියලූ දෙනාගේම ඉලක්කය බවත්ය.
”මෙම තණතීරුව පිළිබදව අවබෝදයක් ලබා ගැනීමට කොරියාව සමග තරගයක් ලැබීම ඉතාම වැ`දගත්. බංග්ලාදේශයට එරෙහිව තරගය ජය ලබා අවසන් තරගයට පැමිණීම අපේ බලාපොරොත්තුවයි” යැයි තිරිමාන්න වැඩි දුරටත් පැවසීය.
දිනේෂ් චන්දිමාල් පැවසුවේ මෙවැනි ඉනිමක් ක‍්‍රීඩා කිරීමට ලැබීම පිළිබදව තමන් සතුටු වන බවත් ආසියානු ක‍්‍රීඩා උළෙල නව අත්දැකීමක් බවත්ය.
ඊයේ පෙරවරුවේ පැවැති පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී හොං කොං පිල (130/3) කඩුලූ 7 කින් මැලේසියාව (129/7) පරාජය කරමින් අවසන් පූර්ව තරගයට පැමිණියේය.
ඇෆ්ගනිස්තානය සහ නේපාල අතර අද පෙරවරුවේ පැවැත්වෙන තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ලබන කණ්ඩායම සහ හොං කොං අතර පළමු අවසන් පූර්ව තරගය හෙට (02) පෙරවරුවේ පැවැත්වේ.
ශ‍්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 172
(උපුල් තරංග 54, දිනේෂ් චන්දිමාල් 83, තික්වන් පර්ක් 16/4, කේ. කිම් 38/2, ජේ. චොයි 39/2)
දකුණු කොරියානු පිල ඕවර 16.4 කදී සියලූ දෙනා දැවී 55
(කියුග්සිම් කිම් 12, ඉසුරු උදාන 13/2, කෝසල කුලසේකර 3/2, ජීවන් මෙන්ඩිස් 13/2, චතුරංග ද සිල්වා 8/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.