Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවේ සංචාරයට ඕස්ට්‍රේලියාවෙන් සංචිත 4 ක්

ශ්‍රී ලංකාවේ සංචාරයට ඕස්ට්‍රේලියාවෙන් සංචිත 4 ක්

editorial - 2022 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දීර්ඝ සංචාරයක් සඳහා එළඹෙන ජූනි සහ ජුලී මාසයන්හිදී ශ්‍රී ලංකාවට පැමිණෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම් සඳහා සංචිත 4 ක් නම් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද (29 වැනිදා) පියවර ගත්තේය. ඒ අනුව ටෙස්ට්, එක්දින සහ විස්සයි20 සංචිත 3 ට අමතරව ඕස්ට්‍රේලියානු ‘ඒ’ සංචිතයද ඊට අයත්වන අතර ක්‍රීඩකයන් 34 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත සංචිත 4 ට අයත්වේ.

ශ්‍රී ලංකා සංචාරයේදී පැට් කමින්ස් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලබන අතර ඒරන් ෆින්ච් එක්දින සහ විස්සයි20 කණ්ඩායම්හි නායකයා ලෙස කටයුතු කරනු ලැබේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි20 තරග 3 ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

විස්සයි20 තරගාවලියෙන් ඕස්ට්‍රේලියානු සංචාරය ආරම්භ වන අතර පළමු සහ දෙවැනි විස්සයි20 තරග කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තෙවැනි විස්සයි20 තරගය මෙන්ම පළමු සහ දෙවැනි එක්දින තරගද මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට සැලසුම් කර ඇත. තෙවැනි, සිව්වැනි සහ පස්වැනි එක්දින තරග කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ටෙස්ට් තරග 2 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ වසරේ ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේදීම පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහ ලබන වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලි ඉලක්ක කරගනිමින් මෙම සංචිත නම්කර ඇති බව ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු සභාපති ජෝර්ජ් බේලී මහතා මහතා පැවසීය.

මාර්තු මාසයේදී පාකිස්තානයට එරෙහිව 1-0 ක ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමම ශ්‍රී ලංකා සංචාරය සඳහාද නම් කර තිබේ. කොවිඩ් කාලසීමාව තුලදී විශාල සංචිත නම් කළද එම කාලසීමාව පසුකරමින් ඉන් ඔබ්බට යාමේ අරමුණින් ටෙස්ට් සංචිතය 16 දෙනෙකු දක්වා අඩුකර ඇති අතර මාකස් හැරිස් සහ මාර්ක් ස්ටෙකෙටී ජාතික කණ්ඩායමෙන් ඉවත් කර ‘ඒ’ සංචිතයට එක්කර ඇත.

ටෙස්ට් සංචිතය 16 දෙනෙකු දක්වා අඩු කළද අවශ්‍ය වේලාවන්හිදී කෙටි දැනුම්දීමකින් ක්‍රීඩකයන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව බේලි මහතා පැවසීය. මෙම කාලයේදීම ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායමත් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටීම ඕස්ට්‍රේලියානු පිලේ හදිසි අවශ්‍යතාවක් පිරිමසාගැනීමට පිටිවහලකි.

ටෙස්ට් නායක පැට් කමින්ස් විස්සයි20 තරඟාවලියෙන් විවේක ගන්වා ඇති අතර, පාදඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා ඔහුගේ පළමු දරුවාගේ උපත හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්ව ඇත.

පාකිස්තානය සමගින් පැවැති සීමිත ඕවර තරගාවලියෙන් විවේක ගැන්වූ ග්ලෙන් මැක්ස්වෙල්, මැතිව් වේඩ්, ස්ටීවන් ස්මිත්, මිචෙල් මාෂ්, ජොෂ් හේසල්වුඩ්, මිචෙල් ස්ටාර්ක්, ඩේවිඩ් වෝනර්, ජේ රිචඩ්සන් සහ කේන් රිචඩ්සන් ශ්‍රී ලංකා සංචාරයට නැවතත් කැඳවා ඇත. නමුත් මැතිව් වේඩ්, ජායි රිචඩ්සන් සහ කේන් රිචඩ්සන් නම්කර ඇත්තේ විස්සයි20 තරගාවලිය පමණි.

පාකිස්තානයට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී මංගල ශතකය සහ තවත් අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ බෙන් මැක්ඩර්මොට් සංචිත 4 ටම අයත් නොවීම පුදුමයට කරුණක් වන්නේය. නමුත් අයි.පී.එල්. තරගාවලියෙන් පසුව, ඩේවිඩ් වෝනර්, ග්ලෙන් මැක්ස්වෙල්, මිචෙල් මාෂ් සහ ස්ටීවන් ස්මිත් නැවතත් කණ්ඩායමට පැමිණීම නිසා බෙන් මැක්ඩර්මොට්ට ජාතික සංචිතයේ සිය ස්ථානය අහිමිව ගොස් ඇති බව පෙනේ. කෙසේ වෙතත් පාකිස්තාන සංචාරයේදී නැවතත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එක්වූ ට්‍රැවිස් හෙඩ් ඔහුගේ ස්ථානය රැකගැනීමට සමත්වී ඇත.

ඕස්ට්‍රේලියානු ‘ඒ’ සංචිතය සහභාගිවන එක්දින සහ සිව්දින තරග සඳහා එකම සංචිතයක් තෝරා ගැනීමට ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුව පියවර ගෙන ඇති අතර තවමත් නායකයකු නම් කර නොමැත.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමගින් එක්දින තරග 2 කට සහ පළමු පෙළ (සිව්දින) තරග 2 කට ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම සහභාගි වේ. එක්දින තරග කොළඹදී පැවැත්වෙන අතර පළමු පෙළ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.


ඕස්ට්‍රේලියානු විස්සයි20 සංචිතය
ඒරන් ෆින්ච් (නායක), ෂෝන් ඇබට්, ඇෂ්ටන් ආගර්, ජොෂ් හේසල්වුඩ්, ජොෂ් ඉංග්ලිෂ්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ජායි රිචඩ්සන්, කේන් රිචඩ්සන්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, මිචෙල් ස්වෙප්සන්, ඩේවිඩ් වෝනර් සහ මැතිව් වේඩ්.

ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය
ඒරන් ෆින්ච් (නායක), ඇෂ්ටන් ආගර්, ඇලෙක්ස් කේරී, පැට් කමින්ස්, කැමරන් ග්‍රීන්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉංග්ලිෂ්, මානස් ලැබුස්චේන්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, මිචෙල් ස්වෙප්සන් සහ ඩේවිඩ් වෝනර්.

ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය
පැට් කමින්ස් (නායක), ස්ටීවන් ස්මිත් (උපනායක), ඇෂ්ටන් ආගර්, ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කේරී, කැමරන් ග්‍රීන්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉංග්ලිෂ්, උස්මාන් කවාජා, මානස් ලැබුස්චේන්, නේතන් ලයන්, මිචෙල් මාෂ්, මිචෙල් ස්ටාක්, මිචෙල් ස්වෙප්සන් සහ ඩේවිඩ් වෝනර්.

ඕස්ට්‍රේලියානු ‘ඒ’ සංචිතය
සීන් ඇබට්, ස්කොට් බෝලන්ඩ්, පීටර් හැන්ඩ්ස්කොම්බ්, ඒරන් හාඩී, මාකස් හැරිස්, ට්‍රැවිස් හෙඩ්, හෙන්රි හන්ට්, ජොෂ් ඉංග්ලිෂ්, මැතිව් කුනේමන්, නික් මැඩින්සන්, ටොඩ් මාෆී, ජොෂ් ෆිලිප්ස්, මැට් රේන්ෂෝ, ජේ රිචඩ්සන්, තන්වීර් සංඝා, මාක් ස්ටෙකෙටී.

 

විස්සයි20 තරග කාලසටහන
ජුනි 7 - පළමු විස්සයි20 තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ජුනි 8 - දෙවැනි විස්සයි20 තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ජුනි 11 - තෙවැනි විස්සයි20 තරගය, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී

එකදින තරග කාලසටහන
ජුනි 14 - පළමු එක්දින තරගය, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී
ජුනි 16 - දෙවැනි එක්දින තරගය, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී
ජුනි 19 - තෙවැනි එක්දින තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ජුනි 21 - සිව්වැනි එක්දින තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ජුනි 24 - පස්වැනි එක්දින තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ටෙස්ට් තරග කාලසටහන
ජුනි 29 සිට ජුලී 3 - පළමු ටෙස්ට් තරගය, ගාල්ල
ජුලී 8 සිට 12 දක්වා - දෙවැනි ටෙස්ට් තරගය, ගාල්ල

‘ඒ’කණ්ඩායම් තරග කාලසටහන
ජුනි 8 - පළමු එක්දින තරගය, කොළඹදී
ජුනි 10 - දෙවැනි එක්දින තරගය, කොළඹදී

ජුනි 14 සිට 17 - පළමු සිව්දින තරගය, හම්බන්තොටදී
ජුනි 21 සිට 24 - දෙවැනි සිව්දින තරගය, හම්බන්තොටදී

- 2079

 


අදහස් (0)

ශ්‍රී ලංකාවේ සංචාරයට ඕස්ට්‍රේලියාවෙන් සංචිත 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.