Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට ලකුණු 155 ක දැවැන්ත ජයක්
දෙවැනි එක්දින තරගය

ශ්‍රී ලංකාවට ලකුණු 155 ක දැවැන්ත ජයක්

editorial - 2024 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ සිට)

ඇෆ්ඝනිස්ථානුවන්ගේ අවසන් කඩුලු අටම ලකුණු 10 ක් ඇතුළතදී බිම දැමූ වනිඳු හසරංග (28/4) සහ ඩිල්ෂාන් මධුශංක (28/2) දෙදෙනා පල්ලෙකැළේදී අද (11 වැනිදා) පැවැති වූ දෙවැනි එක්දින තරගයේදී ලකුණු 155 ක දැවැන්ත ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ. මෙම ජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම, තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජයග්‍රහණය මිට මොළවාගත්තේය. 

තරග 3 කින් සමන්විත තරගාවලියේ ඉතිරි තරගය ලබන බදාදා (14 වැනිදා) පැවැත්වෙයි. 

ලකුණු 309 ක ඉලක්කයක් කරා යමින් සිටි ඇෆ්ඝනිතානු කණ්ඩායම 30 වැනි ඕවරය ආරම්භ කළේ කඩුලු 2 කට 143 ක් ලෙසිනි. එහෙත් එතැන් සිට පන්දු 29 ක් ඇතුළත ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම සම්පූර්ණයෙන්ම දැවී ගියේය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සහ ඩිල්ෂාන් මධුශංක ලකුණු 10 ක වෙනසක් අතරේ ශ්‍රී ලංකා පිලට ජය ගෙන දුන්හ. 

40 වැනි ඕවරයෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම සම්පූර්ණයෙන්ම කර තියාගත් අසලංක, එම කාලය ඇතුළත පන්දු 35 කින් ලකුණු 62 ක් ලබාගත්තද සිය ශතකය පෙනි පෙනීම නොදැවී ක්‍රීඩාගාරයට ගියේය. කුසල් මෙන්ඩිස් (61), සධීර සමරවික්‍රම (52), චරිත් අසලංක (නොදැවී 97) සහ ජනිත් ලියනගේ (50) යන සිව් දෙනාම අර්ධ ශතක ලබාගත් නමුත් ඒවායින් එකක් හෝ ශතකයක් බවට පරිවර්තනය කරගැනීමට නොහැකි වීම ශ්‍රී ලංකා කණ්ඩායම ලද මහත් පසුබෑමකි. 

කෙසේ හෝ ජනිත් ලියනගේ, චරිත් අසලංක සහ වනිඳු හසරංග තිදෙනා එක්ව ඇෆ්ඝනිස්ථානු පන්දු යවන්නන්ගේ අවසන් ඕවර 10 දී ලකුණු 96 ක් උදුරාගත් හෙයින්, ලකුණු 300 කඩයිම පසුකිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය. 

කාසියේ වාසිය දිනාගත් කුසල් මෙන්ඩිස් පළමුවෙන් පිතිහරඹය තෝරා ගත් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය බෙහෙවින් අසාර්ථක විය. පළමු එක්දින තරගයේදී ප්‍රහාරාත්මක ඕවර 10 නිමාවන විට කිසිවකු නොදැවී ලකුණු 90 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේදී ඕවර 10 කින් ලබාගත් හැකිවූයේ ලකුණු 40 කි. ඒ වන විට ආරම්භක පිතිකරුවෝ දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ. ආරම්භයේදී ලද පසුබෑම ඉනිමේ අවසන් කොටසේදී අවාසියට සිටියේය. 

ඕවර 40 නිමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා සිටියේ ලකුණු 212 ක් පමණි. කඩුලු අතැතිව තිබුණ නමුත්, අවසන් ඕවර කිහිපයේදී ලකුණු වේගය වැඩිකිරීම සඳහා චරිත් අසලංක සහ ජනිත් ලියනගේ දෙදෙනාට තිබුණේ අභියෝගයකි. මෙම අභියෝගයට මුහුණ දුන් පිතිකරුවෝ දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 98 කදී ලකුණු 111 ක් එක්කළහ. එහෙත් නූර් අහමඩ් හමුවේ පිට පිටම දෙවැනි හයේ පහර ගැසීමට යාමේදී ජනිත් ලියනගේගේ උඩපන්දුව, ඩීප් මිඩ් ඕන්හි සිටි රහමත් ෂාගේ දෑත් අතර සැඟවී ගියේය. 

පස්වැනි එක්දින තරගයට ක්‍රීඩා කරමින් සිටින දකුණත් පිතිකරුවා පන්දු 47 කින් සිය දෙවැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කළේ ඊට හතරේ පහර 2 ක් සමගින් දැවැන්ත හයේ පහර 2 ක් ද ඇතුළත් කරමිනි. 

පළමු තරගයේදී පාදයේ කලව මස්පිඬුවේ ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීර වෙනුවට එක්දින සංචිතයේවත් නොසිටි අසිත ප්‍රනාන්දු හදිසියේම කණ්ඩායමට කැඳවන ලදි. 

සිකුරාදා තරගයේදී නොදැවී ලකුණු 149 ක් ලබාගත් අස්මතුල්ලා ඔමර්සායි අද සිය ඕවර 10 ම සම්පූර්ණ කරමින් ලකුණු 56 කට කඩුලු 3 ක් දවාගත්තේ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ සීමා මායිම් මොනවාද යන්න නැවත වරක් ශ්‍රී ලංකා නායකයාට පෙන්වා දෙමිනි. 

 

(ඡායාරූප - ගයාන් අමරසේකර) 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 155 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.