Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
සිලත් ටෙස්ට් තරගය

ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

editorial - 2024 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පැය හතරකට වැඩි කාලයක් තම කඩුල්ල රැකගනිමින්, පන්දු 148 කට මුහුණ දුන් මොමිනුල් හක් නොදැවී ලකුණු 87 ක් ලබාගත් නමුත් සිලත් නුවරදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගයේදී බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 328 ක දැවැන්ත ජයක් අත්කර ගත්තේය. මෙහෙදි හසන් සහ ෂොරිෆුල් ඉස්ලාම් සමගින් එක්ව ලකුණු 66 ක සහ ලකුණු 47 ක සම්බන්ධතා දෙකක් ගොඩනැංවූ නමුත් බංග්ලාදේශීහු දෙවැනි ඉනිමේදී ලකුණු 182 කට දැවී ගියහ. 

මෙම ජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම, පරාජය කළ නොහැකි වන පරිදි, ටෙස්ට් තරගාවලියේ 1-0 ක් ලෙසින් ඉදිරියට පැමිණියේය. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් ඉතිහාසය වසර 23 ක් පුරා දිවෙන නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම, එදා මෙදා තුර බංග්ලාදේශය හමුවේ ටෙස්ට් තරගාවලියකින් අපරාජිතව සිටී. 

තම ටෙස්ට් දිවියේ දෙවැනි වතාවටත් කඩුලු 5 ක් දවාගත් කසුන් රාජිත (56/5) ඇතුළු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ තිදෙනා පිට පිටම දෙවැනි වරටත් ටෙස්ට් ඉනිමක කඩුලු 10 ම බෙදාහදා ගත්හ. ටෙස්ට් තරගයකදී ප්‍රතිවාදීන්ගේ කඩුලු 20 ම ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නන් අතරේ බෙදී ගියේ වසර 38 කට පසුවය.
 
එහි පළමු අවස්ථාව සටහන් වූයේ 1986 දී කොළඹ සී.සී.සී. පිටියේදී පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී අසන්ත ද මැල් (6), කෝසල කුරුප්පුආරච්චි (7) සහ රවී රත්නායක (7) තිදෙනා කඩුලු 20 ම බෙදා ගැනීමෙනි. එම තරගයේදී, ඉම්රාන් ඛාන් නායකත්වය දැරූ පාකිස්තානු පිලට එරෙහිව, ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක ජයක් අත්කර ගත්තේය. 

තරගයේ සිව්වැනි දිනය වූ අද (25 වැනිදා) යැවූ තුන්වැනි ඕවරයේදීම තයිජුල් ඉස්ලාම්ගේ ඉනිම නිමා කළ කසුන් රාජිත මෙහෙදි හසන් පිටියට කැඳවා ගත්තේය. එහෙත් මොමිනුල් හක් සහ මෙහෙදි හසන් අතර හත්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 66 ක සම්බන්ධතාව ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසහනයට පත්කරවන්නක් විය. 

වෙහෙසකර වූවත් වේග පන්දු යවන්නෝ තමන්ගේ ඉවසීම දිගටම පවත්වාගෙන යමින් පන්දු යැවූහ. දිවා ආහාරයට මඳ වේලාවක් තිබියදී මෙහෙදි හසන් දැවී ගියේ ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වමිනි. දිවා ආහාරයෙන් පසුව, මොමිනුල් සහ ෂොරිෆුල් ඉස්ලාම් අතර තවත් ලකුණු 47 ක සම්බන්ධතවක් දිගහැරුණද, කසුන් රාජිතට පස්වැනි කඩුල්ලත් හිමිකර දෙමින් පිට පිට පන්දු දෙකකදී ෂොරිෆුල් ඉස්ලාම් (12) සහ කාලිඞ් අහමඞ් (0) දෙදෙනාම දැවී ගියහ.
 
කසුන් රාජිත විසින් කාලිඞ් අහමඞ්ට යන ලද පන්දුව වේග පන්දු යවන්නකුගේ උපදෙස් පත්‍රිකාවේ ඉහළින් තිබෙන ආකාරයේ එකක් විය. තම පිත්ත පන්දුව වෙත ගෙන එනවා හැර පිතිකරුවාට වෙනත් විකල්පයක් නොවීය. එහෙත් කඩුලු රකින්නාට උඩපන්දුවක් ලැබීමෙන් පිතිකරුවාට කඩුල්ල අහිමි විය. 

ළහිරු කුමාර විසින් නහීද් රානා දවාගැනීමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 328 ක දැවැන්ත ජයක් හිමිවිය. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී (ලකුණු අනුව) ලබාගත් දෙවැනි විශාලතම ජයග්‍රහණයයි. බංග්ලාදේශ දෙවැනි ඉනිමේ පිතිකරුවන් 11 දෙනාගෙන් පිතිකරුවෝ පස් දෙනෙක්ම ලකුණු නොලබා දැවී ගියහ. අද සවස් වරුවේ වර්ෂාව ඇතිවිය හැකි යයි බංග්ලාදේශයේ කාලගුණ නිලධාරීන් අනාවැකි පළකර තිබුණ නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වැස්ස වළාහක දෙවියන්ට වඩා ඉක්මන් වූහ. 

මොමිනුල් හක්, පැය දෙක හමාරක් පුරා දිග්ගැසුණු, සාධාරණ සම්බන්ධතා දෙකකටම දායක වූ නමුත් අද දිනයේදී ඕවර 37 ක් ඇතුළත ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසන් කඩුලු පහ බිම දමගත්හ. ටෙස්ට් තරගයක් වූ වුවද මොමිනුල් හැරෙන්නට වෙනත් කිසිවකුට අර්ධ ශතකයක් ලබාගත නොහැකි විය. හයේ පහරකින් සහ හතරේ පහර 12 කින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සංග්‍රහ කළ මොමිනුල් ශ්‍රී ලාංකිකයන්ගේ බවුන්සර් පන්දු හමුවේ අපහසුතාවකින් තොරවම ගැලවුණේය. වාසනාවත් ඔහුගේ පැත්තට තිබිණ. ලකුණු 64 ක් ලබා සිටියදී, කඩුලු රකින්නාට උඩපන්දුවක් දීමෙන්, මොමිනුල් දවාගැනීමේ අවස්ථාවක් තිබුණ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඒ අවස්ථාවේදී තුන්වැනි විනිසුරුවරයා වෙත යාමට උනන්දුවක් නොදැක්වූහ. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 30 වැනිදා චැටෝග්‍රෑම් නුවරදී ආරම්භ වෙයි. 


අදහස් (0)

ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.