Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට කඩුලු 7 ක විශිෂ්ට ජයක්
3 වැනි එක්දින තරගය

ශ්‍රී ලංකාවට කඩුලු 7 ක විශිෂ්ට ජයක්

editorial - 2024 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ සිට)

ජයග්‍රහණයක් ගැන සිතීමටවත් අවසර නොදීම ඇෆ්ඝනිස්තානුවන්ට තලා දැමූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදීත් කඩුලු 7 ක අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්හ. ලකුණු 267 ක ඉලක්කය ඕවර 35.2 කින් පසුකර ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ මෙම ජයත් සමගින් එක්දින තරගාවලිය 3-0 කින් ජයගත්හ. 

තරග තුනේදීම පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පැමිණි ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයන්ට අමතක නොවන වින්දනයක් දුන්  ශ්‍රී ලංකා කණ්ඩායම, දඹුල්ලේදී පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා හෙට (15 වැනිදා) පිටත්ව යනු ඇත. සතියේ දිනයක් වුද, අද පැවැති තරගය නැරඹීම සඳහා 14,000 කට වැඩි පිරිසක් පල්ලෙකැළේ ක්‍රීඩාංණයට රැස්ව සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. 

එක්දින අන්තර්ජාතික තරග ඉතිහාසයේදී තරග 3 කින් සමන්විත තරගාවලියකදී පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ (360) වාර්තාවට පිතිකරුවෝ දෙදෙනෙක් හිමිකම් කියති. නවසීලන්තය හමුවේ ලකුණු 360 ක් ලබාගත් ෂුබ්මන් ගිල් සහ බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ලකුණු 360 ක් ලබාගත් බාබර් අසාම් මෙම පිතිකරුවෝ දෙදෙනා වෙති. 

අද දිනයේ තවත් ලකුණු 14 ක් ලබාගත්තා නම් එම වාර්තාව තමන් සතු කරගැනීමේ අවස්ථාව නිස්සංකට තිබිණ. ඒ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම සිටියේ ජයග්‍රහණයට ලකුණු 17 ක් තරම් මෑතිනි. කායිස් අහමඞ්ගේ පන්දුවක් ලණුව උඩින් යැවීමට නිස්සංක ගත් උත්සාහයේදී පිත්තේ කොණක ගැටුණු පන්දුව එකතැන ඉහළ ගියේ මොහොමඞ් නබීට පහසු උඩපන්දුවක් තිළිණ කරමිනි. 

කෙසේ වෙතත් පන්දු 101 කින් ලකුණු 118 ක් ලබාගත් ආරම්භක පිතිකරුවා, වසර 53 ක එක්දින ක්‍රිකට් ඉතිහාසයේදී තරග 3 කින් සමන්විත තරගාවලියක වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර සිව්වැනි ස්ථානය (එකතුව ලකුණු 346 යි) හිමිකර ගත්තේය. මෙම තරගාවලියේදී පැතුම්ගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 210, 18 සහ 118 ක් ලෙසිනි. 

ශ්‍රී ලංකා කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු (91) සහ නිස්සංක (118) දෙදෙනාගෙන් ලැබුණේ රොකට්ටුවක ආරම්භයකි. ඕවර 7 කින් ලකුණු 50 ක් පුවරුවට එක්කළ ආරම්භක පිතිකරුවෝ දෙදෙනා, 15 වැනි ඕවරය ආරම්භ වීමටත් පෙරම 100 වැනි ලකුණත් පුවරුවට එක්කළහ. අවිශ්ක, පන්දු 24 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරන විට ඊට හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් අන්තර්ගත වී තිබිණ. 

ඇෆ්ඝනිස්ථානු පන්දු යවන්නන්ට පන්න පන්නා පහර දෙමින් ලකුණු කරා ගිය දෙදෙනාගේ සම්බන්ධතාව ලකුණු 173 දී බිඳී යන විට නිමා වී තිබුණේ ඕවර 23 කි. මෙම තරගාවලියේදී දෙවැනි වරටත් ශතකය පෙනි පෙනී දැවී ගිය අවිශ්කගේ පන්දු 66 ඉනිම හතරේ පහර 10 කින් සහ යෝධ හයේ පහර 5 කින් සමන්විත විය. 
එතැන් සිට පැතුම්ට එක්වූ නායක කුසල් මෙන්ඩිස් පන්දුවට පහර දුන්නේ හතරේ සීමාව තම දෙපා මුල තිබූ සැටියෙනි. පන්දු 29 කින් ලකුණු 40 ක් ලබාගත් කුසල්ගේ ඉනිමත් හයේ පහර 4 කින් සමන්විත විය. 

කාසියේ වාසිය අහිමි වීම හේතුවෙන් පළමුව පන්දු යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මුලින් ප්‍රහාරයට ලක්වූහ. 

එහෙත් ඉනිම අග්ගිස්සේදී විශිෂ්ට සටනක් කරමින් ඇෆ්ඝනිස්ථානුවන් ලකුණු 266 කට සීමා කළහ. 40 වැනි ඕවරය පෙනෙන මායිමේදී කඩුලු 4 කට ලකුණු 223 ක් ලබා සිටි ඇෆ්ඝනිස්ථානුවෝ ලකුණු 300 සීමාව ඉලක්ක කරමින් සිටි නමුත්, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන් සහ අසිත ප්‍රනාන්දුගේ පන්දු යැවීම හමුවේ අවසන් කඩුලු හයම ලකුණු 43 ක්  ඇතුළත අහිමි කරගත්හ. 

ඩිල්ෂාන් මධුශංක (23) සහ ප්‍රමෝද් මධුෂාන් (13) දෙදෙනාගේ මුල්ම ඕවර 4 න් ලකුණු 36 ක් උදුරාගත් ඇෆ්ඝනිස්ථානුවන් ලබාගත්තේ ප්‍රචණ්ඩකාරී ආරම්භයකි. එහෙත් අවිශ්ක ප්‍රනාන්දුගේ අති විශිෂ්ට පන්දු රැකීමකින් ඊබ්‍රහිම් සද්රාන් දුවද්දී දැවී යාමත් සමගින් සංචාරකයෝ තරමක් දුරට මෙල්ලකර ගැනීමට දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය දෙදෙනාට හැකිවිය. 

වසර දෙකකට පමණ පසුව එක්දින පිටියට පිවිසි අකිල ධනංජය විසින් ලකුණු 12 ක් ඇතුළත ඇෆ්ඝනිස්ථානු නායක හශ්මතුල්ලා ශහිඩි සහ රමනුල්ලා ගුර්බාස් දෙදෙනාවම දවාගන්නා ලදි. 

රහමත් ෂා සමගින් එක්වූ අස්මතුල්ලා ඔමර්සායි පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක් එක්කළද එතැන් සිට ඇෆ්ඝනිස්ථානු ඉනිම එකතැන කඩා වැටිණ. මුලදී තරමක් ප්‍රහාරයට ලක්වූ නමුත් ඉනිමේ අවසන් ඕවර 10 දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රමෝද් මධුශාන් ඕවර 2.2 කදී ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගත්තේය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරියකු වූ ටේ‍රවර් රාජරත්නම් මහතාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද සිය බාහුවේ කළු පටි පළඳිමින් ක්‍රීඩා කළහ. 

 

(ඡායාරූප - ගයාන් අමරසේකර)


අදහස් (0)

ශ්‍රී ලංකාවට කඩුලු 7 ක විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.