Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද සාජා නුවර සිට...)
ඕස්ට්‍රේලියානුවන් හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 12 දෙනාගේ වටයේ ඉදිරි ගමන පහසු කර ගැනීමට සඳහා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය බෙහෙවින්ම වැදගත් වනු ඇත. එහෙත් එම තරගයට පිවිසීමට පෙර පන්දුවට පහරදීම සහ පන්දු යැවීම පමණක් නොව පන්දු රැකීමද තරගයක් ජයගැනීම සඳහා සෘජුවම බලපාන බවද ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් මතක තබාගත යුතුව තිබේ.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු කාණ්ඩය යටතේ පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (30 වැනිදා) පස්වරු 3.30 ට ආරම්භ වෙයි. කණ්ඩායම් දෙකම මේ වන විට තරග 2 කට බැගින් සහභාගි වී එක් ජයග්‍රහණයක් සහ එක් පරාජයක් බැගින් ලබා සිටිති. කෙසේ වුවත් ශුද්ධ ලකුණු වේගය අනුව දකුණු අප්‍රිකාව පළමු කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව එහි සිවුවැනි ස්ථානයේ රැදී සිටියි.
ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරාත්තු රඳවාගැනීම සඳහා කණ්ඩායම් දෙකටම මෙම තරගය ජය ගැනීම ඉතාමත් වැදගත් වනු ඇත.මෙම තරගයට අමතරව තවත් තීරණාත්මක තරගයක් හෙට ඩුබායිහිදී පැවැත්වේ. එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට පළමු කාණ්ඩයේ පෙරමුණ හිමිවනු ඇත. මේ වන විට එංගලන්තය මෙන්ම ඕස්ට්‍රේලියාවද සහභාගි වූ තරග දෙකෙන්ම ජය ලබා අපරාජිතව සිටිති.
මින් පෙර පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි 2 කදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එකිනෙකාට එරෙහිව තරගවැදී ඇති අතර 2014 වසරේදී සහ 2016 වසරේදී පැවැති එම තරග දෙකම ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇත.
දෙරට අතර මේ දක්වා පැවැති විස්සයි-20 තරග සංඛ්‍යාව 16 ක් වන අතර ඉන් 11 ක් ජයගැනීමට දකුණු අප්‍රිකාවත්, 5 ක් ජයගැනීමට ශ්‍රී ලංකාවත් සමත්වී ඇත. එහිදී පළමුව පන්දුවට පහරදෙමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණ 7ක්ද, ශ්‍රී ලංකාව එක් තරගයක්ද ලබා ඇති අතර දෙවනුව පන්දුවට පහර දෙමින් කණ්ඩායම් දෙකම තරග 4 බැගින් ජය ලබා ඇත. ඒ අනුව විස්සයි-20 තරගවලදී දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ප්‍රතිශතය 31.25% ක් ලෙසද, ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ ජයග්‍රාහී ප්‍රතිශතය 68.75% ක් ලෙසද සටහන් වේ.
කෙසේ වුවත් දකුණු අපිකාවට එරෙහිව ක්‍රීඩා කළ අවසන් විස්සයි-20 තරග 6 ම (දකුණු අප්‍රිකාවේදී 3 ක් සහ ශ්‍රී ලංකාවේදී 3 ක්) පරාජය වී තිබීම ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක් අවාසි සහගත වනු ඇත. එබැවින් දකුණු අප්‍රිකාව හමුවේ නැවත වරක් පරාජය වීමෙන් වැලකී සිටීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් සැලසුම් සමග හෙට තරගයට පිවිසීමට සිදුව තිබේ. ඒ සඳහා ඉකුත් සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැති තරගවලදී හොඳින් ලකුණු අතර සිටි දකුණු අප්‍රිකානු පිතිකරුවන් මෙල්ල කිරීම, හෙට තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය අභියෝගයක් කරගත යුතුව තිබේ.
දඟ පන්දු යවන්නන්ට එරෙහිව ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු මුල් පෙළ පිකිකරුවෝ, අවසන් වරට දෙරට අතර පැවැති තරග දෙකේදී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ කඩුලු 9 කින් සහ කඩුලු 10 කිනි. එහිදී නොදැවී 58 ක් සහ නොදැවී 59 ක් රැස්කළ ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් හෙට තරගයේදීත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් බවට පත්වීමට වැඩි ඉඩක් පවතී. එබැවින් වේලාසනින්ම ඔහුව ක්‍රීඩාගාරය වෙත හරවා යැවීම කෙරෙහි ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ.
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනසක් නොමැතිව හෙට තරගයටද ක්‍රීඩා කිරීමට නියමිතය. එහෙත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් වෙනසකමක් සමග හෙට තරගයට සහභාගි වන ඇතැයි බලාපොරොත්තු විය හැකිය. වර්ග වාදයට එරෙහි වීම වෙනුවෙන් තරග ආරම්භයට පෙර දණ ගැසීම ප්‍රතික්ෂේප කිරීම නිසා කොදෙව් තරගයෙන් ඉවත් කෙරුණ ක්වින්ටින් ඩි’කොක් හෙට තරගයේදී යළිත් කණ්ඩායමට එක් වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, දුෂ්මන්ත චමීර, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, අකිල ධනංජය, ළහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දු
දකුණු අප්‍රිකානු සංචිතය
ටෙම්බා බවුමා (නායක), කේෂව් මහරාජ්, ක්වින්ටින් ඩි’කොක්, බෝන් ෆෝචූන්, රීසා හෙන්ඩ්‍රික්ස්, හෙන්රින් ක්ලාසන්, ඒඩ්න් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, වියාන් මල්ඩර්, ලුංගි න්ගිඩි, ඇන්රික් නොයේ, ඩ්වේන් ප්‍රිටෝරියස්, කගිසෝ රබාඩා, තබ්‍රේස් ශම්ෂි සහ රාසි වැන්ඩර් ඩසන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.