Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති
යොවුන් ලෝක කුසලාන - 2022

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති

editorial - 2022 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඩී’ කාණ්ඩය යටතේ ශාන්ත කිට්ස්හිදී ඊයේ (21 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකින් බටහිර ඉන්දීය කොදෙව් ‍යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය අපරාජිත බව රැකගනිමින් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

මෙම ‍තරගයෙන් පරාජයට පත්වීමත් සමග සත්කාරක කොදෙව්වන්ට සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් නොලබාම මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. සහභාගි වූ තරග 3 න්ම ජය ලැබූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ‘ඩී’ කාණ්ඩයේ ශූරයන් ලෙසත්, තරග 2 ක් ජය ලැබූ ඕස්ට්‍රේලියානු යොවුන් පිල එම කාණ්ඩයේ අනු ශූරයන් ලෙසත් සුපිරි 8 දෙනාගේ වටයට පිවිසියහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ ආරම්භක පිතිකරු සදිෂ රාජපක්ෂ ඉතා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 115 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 76 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත් විය. 

ලකුණු 4 ක්ව තිබියදී පළමු කඩුල්ල දැවී ගියද, ෂෙවොන් ඩැනියෙල් (34)  සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සදිෂ, ඉන් නොනැවතී සකුණ ලියනගේ (9) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 50 කදී ලකුණු 40 ක්ද, අංජල බණ්ඩාර (40) සමග එක්ව ‍සිවුවැනි කඩුල්ල සඳහා  පන්දු 94 කදී ලකුණු 78 ක්ද එක් කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමීය.

පන්දු 33 කට මුහුණදුන් ඩැනියෙල් හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 52 කදී වාර්තා වූ බණ්ඩාරගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. පන්දු 27 කදි හ‍තරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 28 ක් රැස්කළ රනුද සෝමරත්න ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 15 කින් ලකුණු 15 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් යොවුන් කණ්ඩායමේ මුල් කඩුලු 2 ලකුණු ලකුණු 34 ක් තුළ බිඳ වැටිණ. එහෙත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ටෙඩි බිෂොප් (45) සමග එක්ව පන්දු 109 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කෙවින් වික්හැම් (56), සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ජොඩාන් ජොන්සන් (47) පන්දු 68 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් කොදෙව් යොවුන් ඉනිමට නව ජවයක් එක් කළේය.

එම සම්බන්ධතා ද්විත්වය හේතුවෙන් ඕවර 44.2 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 194 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවූ කොදෙව් කණ්ඩායම පන්දු 9 ක් තුළ කඩුලු 3 ක් දවාගනිමින් ලකුණු 202 කට කඩුලු 7 ක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ. පන්දු 56 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු රැස්කරමින් අර්ධ ශතකය පෙනෙන මානයේ සිටි ජෝඩාන් දවාගත් වෙල්ලාලගේ එහිදී පළමු වෙඩිමුරය තැබීය.

ඉන් අනතුරු දුවද්දී දවාගැනීම් දෙකක් සාර්ථක කරගත් කඩුලු රකින ක්‍රීඩක අංජල බණ්ඩාර, කොදෙව් යොවුන් ‍පිලේ නායක ගියොවොන්ටි ඩිපෙයිසා ලකුණු ලබාගැනීමට පෙරාතුවද, නේතන් එඩ්වඩ්ස් ලකුණක් ලබා සිටියදීද පිටියෙන් ඉවත් කළේය. නේතන් දවාගැනීම සඳහා අංජලට දක්ෂ පන්දු රැකීමක නිරත වූ ෂොවොන් ඩැනියෙල්ගේ සහායද ලැබිණ. කෙසේ වුවත් අවසන් ඕවර 3 දී ලකුණු 43 ක් රැස්කළ කොදෙව් යොවුන් පිතිකරුවෝ සිය කණ්ඩායම ලකුණු 250 සීමාව කරා ඔසවා තැබූහ.

එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ රිවැල්ඩෝ ක්ලාර්ක් පන්දු 35 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 45 ක්ද, මැකෙනි ක්ලාර්ක් පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 21 ද රැස්කළහ. කොදෙව් යොවුන් ඉනිමේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 24 කදී ලකුණු 46 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද රිවැල්ඩෝ සහ මැකෙනි සමත් වූහ.

ඡායාරූප - අන්තර්ජාතික ක්‍රිකට් සභාව අනුග්‍රහයෙනි

- 036


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.