Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා කාන්තාවන්ට ලකුණු 58 ක ජයක්
එක්දින තරගාවලිය

ශ්‍රී ලංකා කාන්තාවන්ට ලකුණු 58 ක ජයක්

editorial - 2023 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අවසන් ඕවරයේ පන්දු 4 කින් ලකුණු 18 ක් උදුරාගත් කවීෂා දිල්හාරි (25) සහ හර්ෂිතා මාධවී (නොදැවී 45) එක්ව බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 186 ක් දක්වා ඉහළට ඔසවා තැබූහ. එතැන් සිට බංග්ලාදේශ පිතිකාරිණයන්ගේ ගෙල සිරකරගත් ඕෂධී රණසිංහ (34/5) සිය හොඳම එක්දින පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 58 ක ජයක් කරා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කැඳවාගෙන ගියේය. 

මෙම ජයග්‍රහණය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ 2022-25 කාන්තා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අත්කරගත් දෙවැනි ජයග්‍රහණයයි. 

ඕවර 50 ක තරගයක් වූ නමුත් ඊයේත් අද අලුයමත් ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් අද පස්වරු 1.15 ට ආරම්භ වූ තරගය එක් පිලකට ඕවර 30 ක් දක්වා සීමා කෙරිණ. ශ්‍රී ලංකා කාන්තාවන් ලබාගත් ලකුණු 186 ට පිළිතුරු වශයෙන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 128 ක් පමණි. 

මෙය පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබී අතහැර දමන ලද තරගයයි. එය නැවත පැවැත්වීම හේතුවෙන් තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කාන්තාවන්ට හැකිවිය. පසුගිය 29 වැනිදා පැවැති පළමු තරගය ඕවර 36.4 කින් පසුව ඇදහැළුණු වර්ෂාව නිසා අතරමග අතහැර දමන ලදි. 

පිට දඟ පන්දු යවන, 37 හැවිරිදි ඕෂධී රණසිංහ, අද තරගය හැර, මේ දක්වා කාන්තා එක්දින තරග 60 කට සහභාගිවෙමින් ලබා සිටියේ කඩුලු 50 කි. අද තරගයේදී කඩුලු 5 ක් දවාගැනීමත් සමගින් ඕෂධීගේ තරග වාර්තාව තරග 61 කින් කඩුලු 55 ක් විය. 

එස්.එස්.සී. පිටියේදී කාසියේ වාසිය දිනාගත් නායිකා චමරි අතපත්තු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් විශ්මි ගුණරත්න සමගන් ඉනිම ආරම්භ කළාය. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක සම්බන්ධතාවක් පැවැත්වූ නමුත් චමරිගේ අත්දැකීම් සහ වෘත්තීමය ප්‍රවේශය සමගින් කරට කර පිතිහරඹයට  තවමත් 17 හැවිරිදි ක්‍රීඩිකාවක වන විශ්මි ගුණරත්නට අත්දැකීම් මඳ විය. මේ හේතුවෙන් ප්‍රහාරාත්මක ඕවර 6 දී ශ්‍රී ලංකා කාන්තාවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 31 ක් පමණි. එම ඕවර හයේදී යැවූ පන්දු 36 න් පන්දු 21 ක්ම නිළකුණු පන්දු විය. 

“මට හයියෙන් දුවන්න ඕනා.. ආයේ පස්ස හැරි හැරී බලන්න එපා.. ”

“මම කතා කළාම එන්න” යයි කියමින් සිය කණිටු ක්‍රීඩිකාව දිරිමත් කළ චමරි, පන්දු 60 කින් ලකුණු 64 ක් ලබාගත්තේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි. 

චමරිගේ දැවී යාමෙන් පසුව ඉනිමේ බර කරට ගත් හර්ෂිතා මාධවී පන්දු 48 කින් නොදැවී ලකුණු 45 ක් ලබාගත්තාය. ඇයගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහරක් සහ හයේ පහර දෙකක් පමණක් වූ නමුත්, හැකි සෑම අවස්ථාවකදීම පන්දු රකින්නියන් අතරින් පන්දුව යවමින්, තනි ලකුණු සහ ද්විත්ව ලකුණු ලබාගත් මාධවී, ඇයට පසුව පිටියට ආ ක්‍රීඩිකාවන්ට කදිම සහයෝගයක් දුන්නාය. 

28 වැනි ඕවරය ආරම්භ වන විට ශ්‍රී ලංකා පිලේ ලකුණු තත්ත්වය වූයේ කඩුලු 4 ක් දැවී ලකුණු 156 කි. එහෙත් අවසන් ඕවර දෙකේදී ලකුණු 30  ක් උදුරාගත් මාධවී සහ කවීෂා දිල්හාරි ලකුණු 186 ක් දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ඔසවා තැබූහ. අවසන් පන්දුවේදී දැවීගිය නමුත්, කවීෂා දිල්හාරි දැවීයාමට පෙර මුහුණ දුන් පන්දු 4 ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 4, 4, 4, සහ 6 ක් ලෙසිනි. 


අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තාවන්ට ලකුණු 58 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.