Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලට
සුදුසුකම් ලැබීමේ තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලට

editorial - 2022 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මේ වසරේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ විස්සයි-20 (කාන්තා) ක්‍රිකට් ඉසව්වට සහභාගි වන අවසන් කණ්ඩායම තෝරා ගැනීම සඳහා මැලේසියාවේදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (24 වැනිදා) සමත් වූහ.

ඒ අනුව ජූලි මස 28 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී විස්සයි-20 (කාන්තා) ක්‍රිකට් ඉසව්වට සහභාගි වන ශ්‍රී ලංකාව, එහි ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.

එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය ‘බී’ කාණ්ඩය යටතේ තරග වදින සෙසු රටවල් වන අතර ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව, පාකිස්තානය සහ බාර්බඩෝස් රාජ්‍යය එහිදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.
 
මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර කින්රාරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී ලකුණු 109 කින් ස්කොට්ලන්තයද, කඩුලු 9 කින් කෙන්යාවද, ලකුණු 93 කින් මැලේසියාවද පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, අද පැවැති තීර්ණාත්මක තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 22 ක ජයක් වාර්තා කළහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට නායිකා චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවෙ ඕවර 20 අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 114 ක් පමණි. එහිදී චමරි ලකුණු 17 කට කඩුලු 3 ක් බිඳහෙළුවාය.

බංග්ලාදේශ කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ ආරම්භක පිතිකාරිණී මුර්ෂිදා ඛාතූන් පන්දු 36 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 36 ක් රැස්කළාය. ෆර්ගනා හොක් පන්දු 39 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 33 ක්ද, නායිකා නිගාර් සුල්තාන් පන්දු 21 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 136 ක් ලබාගත්තේය. එහිදී සිය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් චමරි අතපත්තු පන්දු 28 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 48 ක් රැස්කළාය. මෙම තරගාවලියේ තරග 4 කදී අර්ධ ශතක 2 ක් සමග ලකුණු 221 ක් රැස්කරමින්, කඩුලු 4 ක්ද දවාගත් චමරි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.

හර්ෂිතා මාධවී පන්දු 22 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 19 ක්ද, නිලක්ෂි ද සිල්වා පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 28 ක්ද, අනුෂ්කා සංජීවනී පන්දු 16 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 20 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා කාන්තා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 136
(චමරි අතපත්තු 48, හර්ෂිතා මාධවී 19, නිලක්ෂි ද සිල්වා 28, අනුෂ්කා සංජීවනී නොදැවී 20, නහිඩා අක්තර් 34/2)

බංග්ලාදේශ කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 114
(මුර්ෂිදා ඛාතූන් 36, ෆර්ගනා හොක් 33, නිගාර් සුල්තාන් 20, චමරි අතපත්තු 17/3)  

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.