Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හිස් ඔසවති

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හිස් ඔසවති

editorial - 2021 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

---------------------
දමින්ද විජේසූරිය
--------------------

කුසල් ජනිත් පෙරේරාගේ (120) විශිෂ්ට පිතිහරඹයටත් දුෂ්මන්ත චමීරගේ (16/5) අගනා පන්දු යැවීමටත් ස්තුති වන්නට බංග්ලාදේශයට එරෙහිව අද (28 වැනිදා) ඩකා නුවරදී පැවැති අවසන් එක්දින තරගයේදී ලකුණු 97 ක පහසු ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම, පෙරළා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර යන්තමින් හිස් ඔසවා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් මහතා තරගයට පෙර කියා සිටියේ එක්දින තරගාවලිය පරාජය වූ නමුත් නැවත ශ්‍රී ලංකාවට යාමට පෙර එක තරගයක් හෝ ජයගත යුතු බවයි.

පුහුණුකරුවාගේ ඉල්ලීම ඉටුකළ කුසල් ඇතුළු පිරිස එක්දින ලෝක කුසලාන ශූරතාවලියේදී තරග 6 කට පසුව පළමු ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලබා දුන්හ. එහෙත් දඬුවම් ලකුණු 2 ක් ඇති බැවින් ප්‍රසාද ලකුණු පුවරුවේදී ශ්‍රී ලංකාවට තවම හිමිවන්නේ ලකුණු 8 ක් පමණි.

ලකුණු 287 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම ඕවර 42.3 කදී ලකුණු 189 කට දැවී ගියේය.

සිය පළමු පන්දුවේදීම ආරම්භක පිතිකරුවා ආපසු හරවා යැවූ චමීර ඔහුගේ මුල් පන්දු යැවීමේ වාරය අවසන් කළේ ඕවර 6 කදී ලකුණු 11 කට කඩුලු 3 ක් දවාගනිමිනි. 37 වැනි ඕවරයේද යළිත් වරක් පන්දුව අතට ගත් වේග පන්දු යවන්නා, පන්දු 3 කදී තවත් පිතිකරුවන් දෙදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යවමින් බංග්ලාදේශයේ කොඳුනාරටිය බිඳ දැම්මේය.

එතැන් සිට පොදු ප්‍රශ්නාර්ථය වූයේ තරගය අවසන් වන්නේ කිනම් ඕවරයේදීද යන්න මිස ජයග්‍රාහකයා කවුරුන්ද යන්න ගැන නොවේ. මොසඩක් හොසේන් හා මහමදුල්ලා රියාද් අර්ධ ශතක ලබාගත් නමුත් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව අහළකටවත් පැමිණීමට බංග්ලාදේශය අපොහොසත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා (120) සහ ධනුෂ්ක ගුණතිලක (39) දෙදෙනා කදිම ආරම්භයක් ලබාගත් නමුත් ඉනිමේ අවසන් ඕවර 10 දී බංග්ලාදේශ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන් සිරකර තබාගත්හ. එසේ නොවුණා නම් කිසිදු අපහසුතාවකින් තොරවම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට යාමේ අවස්ථාව ද ශ්‍රී ලංකා පිලට තිබිණ.

කෙසේ වෙතත් පළමු තරග දෙකේදී මෙන් නොව, අද තරගයේදී සාර්ථක සම්බන්ධතා කිහිපයකින්ම සවිමත් වූ ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 286 ක් ලකුණු පුවරුවට එක්වී තිබිණ. එය මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් හොඳම ලකුණු සංඛ්‍යාවයි.

පන්දු 40 කින් ලකුණු 50 සීමාව පසුකළ කුසල් පෙරේරා සහ ගුණතිලක දෙදෙනා ඉතා සාර්ථක පිතිහරඹයක යෙදෙමින් සිටියදී පන්දුව අතට ගත් ටස්කින් අහමඩ් සිය දෙවැනි ඕවරයේදී ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංක යන දෙදෙනාම පිටියෙන් ඉවත් කළේය. 12 වැනි ඕවරය ආරම්භයට පෙර කිසිවකු නොදැවී 79 ක් වූ ලකුණු පුවරුව, ටස්කින්ගේ ඕවරය අවසන් වන විට 82 කට කඩුලු 2 ක් ලෙසින් සටහන් කළේය.

ධනුෂ්ක දැවී ගියද නායකත්වයේ බර කරට ගනිමින් සාර්ථක පිතිහරඹයක නිරත වූ කුසල් පෙරේරා 25 වැනි ඕවරය අවසන් වන විට ලකුණු 150 ක් පුවරුවට එක් කර තිබිණ. සිය කණ්ඩායම වෙනුවෙන් වගකීම් සහගත පිතිහරඹයක නිරත වූ නායකයා සිය 6 වැනි එක්දින ශතකය ලබාගත්තේ හතරේ පහර 10 කින් සහ හයේ පහරකින් එය අලංකාර කරමිනි. මහමදුල්ලාගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමකින් කුසල් පෙරේරා දැවී යන විට ලකුණු සංඛ්‍යාව 216 ක් වී තිබිණ.

එතැන් සිට ලකුණු රැස්කිරීමේ බර කරට ගත් ධනංජය ද සිල්වාගේ 6 වැනි එක්දින අර්ධ ශතකයත් සමගින් ශ්‍රී ලංකා ඉනිම අවසන් විය.
ලකුණු 82 ක්, 69 ක්, 65 ක් සහ 15 ක් වශයෙන් සටහන් වූ සම්බන්ධතා නිමා වූයේ පන්දු 10 කදී වාර්තා වූ ලකුණු 30 ක අඛණ්ඩ සම්බන්ධතාවකිනි. ධනංජය ද සිල්වා සහ කෝඩුකාරයා වූ රමේෂ් මෙන්ඩිස් එම ලකුණු 30 ලබාගත්හ.

ශ්‍රී ලංකා පිල අද තරගයට පිවිසියේ කෝඩුකාරයන් තිදෙනකු සමගිනි. පිට දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් සමග වේග පන්දු යවන්නන් වූ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න අද තරගයේ කෝඩුකාරයෝ වූහ. කෝඩුකාරයන් වූ නමුත් තිදෙනාම සාර්ථක දස්කම් පෙන්වමින් දස්කම් සපිරි ක්‍රීඩකයන්ගෙන් ශ්‍රී ලංකාවට හිඟ පාඩුවක් නොමැති බව යළිත් වරක් මොනවට තහවුරු කළහ.

 

 

මොසඩක් හොසේන් ....

 

මහමදුල්ලා...

 

(ඡායාරූප - ඒ.එෆ්.පී අනුග්‍රහයෙනි)


අදහස් (1)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හිස් ඔසවති
  • SACHIN Saturday, 29 May 2021 10:08 AM

    අන්තිම මැච් එක තමයි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.