Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා කණ්ඩායම ආපසු හැරී තිබේ. වේග පන්දු යවන්නන් පස් දෙනකුගෙන් සංචිතය පුරවා දමමින් ටෙස්ට් තරගාවලියට පිළිපන් ශ්‍රී ලංකා කණ්ඩායම හදිසියේම සිය සැලසුම් වෙනස් කරමින් දඟ පන්දු යවන්නන් තිදෙනකු සමගින් දෙවැනි ටෙස්ට් තරගයට මුහුණ දීමට සූදානම් වෙයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් තරගය මහනුවර, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පෙරවරු 10.00 ට ආරම්භ වේ.
පසුගිය සතියේ පැවැති පළමු ටෙස්ට් තරගය අවසන් වූයේ අළස, නීරස, ජය පරාජයෙන් තොර තරගයක් ලෙසිනි. එහෙත් අද ආරම්භ වන දෙවැනි තරගයේදී කෙසේ හෝ තරගයේ වාසිදායක ප්‍රතිඵලයක් ලබාගනිමින් තරගාවලිය ජයගැනීම ශ්‍රී ලංකා නායකයාගේ අපේක්‍ෂාව වී තිබේ.
“අපි හැම තිස්සමෙ තරගයක් ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය කරන්න. ඉතිං අපි පුළුවන් උපරිම දක්ෂතා දක්වලා, තරගය ජයග්‍රහණය කරලා මේ තරගාවලිය දිනන්න තමයි සැලසුම” යයි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඊයේ පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය.
“අපි බලාපොරොත්තු වුණ දේ කළින් තණතීරුවෙන් අපිට ලැබුණේ නෑ. පන්දු යවන්නන්ට කඩුලු 20 ක් අරගෙන ජයග්‍රහණය කරන්න තරම් සහයෝගයක් තණතීරුවෙන් ලැබුණේ නෑ.... මේ අව්වත් එක්ක හරි අමාරුයි ගොඩක් වෙලාවට වේග පන්දු යවන්නන්ට ගැලෙපන විදියට තණතීරුවක් සකස් කරන්න... ඒ නිසා අපි සැලසුම් කළා ඉන්න දඟ පන්දු යවන්නන්ගෙන් ඉදිරියට යන්න” යයි ද ශ්‍රී ලංකා නායකයා පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම හදිසි වෙනසට තවත් හේතුවක් වී ඇත්තේ කොරෝනා ව්‍යසනයෙන් පසුව තවමත් ටෙස්ට් තරගයක් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වී සිටින බැවිනි. කොරෝනාව ලෝ පුරා පැතිරී ගිය 2020 මාර්තුවෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ ටෙස්ට් තරග 7 න් තරග 4 ක් පරාජය වී තිබේ. ඉතිරි තරග තුනම ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
තවත් අතකින් අවසන් වරට පැවැති ටෙස්ට් තරග තුනේදීම ශි්‍රී ලංකා පිතිකරුවන් සාර්ථක වී තිබීම නිසා පිතිකරුවන් 6 ක් සහ පන්දු යවන්නන් 5 ක් සමගින් තරගයට පිවිසීමට ශ්‍රී ලංකා පිලට විශ්වාසයක් ඇත. පන්දු යවන්නන් අතර සිටින වනිඳු හසරංග විශ්වාසය තැබිය හැකි පිතිකරුවකු ද වන බැවින් අවශ්‍ය කෙනකුට එය පිතිකරුවන් 7 දෙනකුගේ ලයිස්තුවක් වශයෙන් සැලකිය හැකිය.
අද තරගය සඳහා සූදානම් කිරීමට බලාපොරොත්තු වන තණතීරුව තුන්වැනි දිනයේ සිට දඟ කැවීම අපේක්‍ෂා කරන තණතීරුවක් යයි වාර්තා වේ. එහෙත් කාසියේ වාසිය දිනාගන්නා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගතහොත් එක කිසිසේත්ම පුදුම වීමට කාරණාවක් නොවේ.
මෙවන් සැලසුමක් යටතේ සුරංග ලක්මාල් සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනාට අමතරව දඟ පන්දු යවන්නන් තිදෙනකු කණ්ඩායමට එක්වීමේ අවස්ථාව තිබෙන බව නායකයා කියයි. එකිනෙකට වෙනස් පන්දු යවන්නන් වන වනිඳු හසරංග, ප්‍රවීන් ජයවික්‍රම සමග රමේෂ් මෙන්ඩිස් හෝ ලක්ෂාන් සඳකැන් අවසන් 11 දෙනා අතරට එක්විය හැකිය.
“අපි මුලින්ම බලන්න ඕන දඟ පන්දු යවන්නන් යොදාගන්නේ කොහොමද කියලා... අපිට පිට දඟ පන්දු යවන්නෙක් ඉන්නවා. රමේෂ් මෙන්ඩිස්. ඒත් අපි බලන්න ඕන දඟ කැවෙන පැත්තත්. පන්දුව කොයි පැත්තටද දඟ කැවෙන්නේ කියලා” යයි කී දිමුත් කරුණාරත්න....
“සඳකැන් වමතින් දඟ පන්දු යැව්වත් එයා චයිනමන් පන්දු යවන්නෙක්... ඔහු පන්දුව දඟ කවන්නේ වමත් පිතිකරුවන්ගෙන් එළියට... ඒත් ප්‍රවීන් වමත් පිතිකරුවා වෙතට පන්දුව දඟ කවනවා... ඒ නිසා ප්‍රවීන්ට තරගයට ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා” යයිද ශ්‍රී ලංකා නායකයා පැවසීය.
ශ්‍රී ලංකා පිලේ තවත් උපායක් වන්නේ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල්ට ලකුණු ලබා ගැනීමේ අවස්ථාව නොදී පාලනය කරගැනීමයි. සාමාන්‍යයෙන් ලකුණු පිපාසයෙන් පෙළෙන පිතිකරුවකු වන ටමීම්ට ලකුණු නොදී අසහනයට පත්කිරීමෙන්, ඔහු ලවාම වැරැද්දක් කරවාගැනීම ශ්‍රී ලංකා පිලේ උපාය වෙයි. අනෙක් අතට ඔහු පිට දඟ පන්දු යවන්නන් හමුවේ සාර්ථක වන පිතිකරුවකුද නොවේ. එබැවින් ධනංජය ද සිල්වා යොදා ගැනීම තවත් සැලැස්මකි.
සමස්තයක් වශයෙන් ගතහොත් වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ඉතාමත් සමබර කණ්ඩායමකි. ඇන්ජලෝ මැතිව්ස්ට, අතිරේක බරකින් තොරව, ඉනිමකදී ඕවර 10 ක් යැවිය හැකි නම්, වේග පන්දු යවන්නන් දෙදෙනකු සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එය කදිම සවියකි. දඟ පන්දු යවන්නන් තිදෙනකු සමගින් පිටියට පිවිසෙන අවස්ථාවලදී පිතිකරු ලයිස්තුවට ඇතූළත් විය හැක්කේ කඩුලු රකින්නාද සමගින් 6 දෙනකු පමණි.
විශේෂඥ පිතිකරුවන් 5 දෙනකු පමණක් සිටින අවස්ථාවකදී වැඩිම බර පැටවෙන්නේ කඩුලු රකින්නා මතය. අවසන් ටෙස්ට් තරග 5 දී දැක්වූ දස්කම් අනුව බැලුවහොත් ඔහු නිරෝෂන් දික්වැල්ල විය හැකිය. එහෙත් ටෙස්ට් තරග 44 ක් තිස්සේ ඔහු සොයා යන ශතකය අද තරගයේදී හෝ ලබාගත හැකිවේද ?
ක්‍රිකට් ලෝලීන්ගේ පැනය එයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.