Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීර්ණාත්මක තරගය හෙට
පොදුරද මඩුලු සුදුසුකම් ලැබීමේ තරගාවලිය

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීර්ණාත්මක තරගය හෙට

editorial - 2022 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ විස්සයි-20 කාන්තා ක්‍රිකට් ඉසව්වට සහභාගිවන අවසන් කණ්ඩායම තෝරා ගැණෙන තීර්ණාත්මක තරගය හෙට (24 වැනිදා) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර මැලේසියාවේදී පැවැත්වේ. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරු 7.00 ට ආරම්භ වීමට නියමිතය.

අවසන් කණ්ඩායම තෝරාගැනීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශයද තරග 3 බැගින් ජයගෙන මේ වන විට සම තත්ත්වයේ පසුවෙති. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, කෙන්යාව, ස්කොට්ලන්තය සහ මැලේසියාව යන රටවල් පහේ සහභාගීත්වයෙන් මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර කින්රාරා ඕවල් ක්‍රීඩාංගණයේදී මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය පැවැත්වේ.

එහිදී ලකුණු 109 කින් ස්කොට්ලන්තයද, කඩුලු 9 කින් කෙන්යාවද, ලකුණු 93 කින් මැලේසියාවද පරාජය කළ ශ්‍රී ලංකාව 4.977 ක දල ලකුණු වේගයක් රඳවාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි. කඩුලු 8 කින් මැලේසියාවද, ලකුණු 80 කින් කෙන්යාවද, කඩුලු 9 කින් ස්කොට්ලන්තයද පරාජය කළ බංග්ලාදේශය 3.056 ක දල ලකුණු වේගයක් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවේ.

අවසන් වරට එකිනෙකාට එරෙහිව තරග වැදී ඇති විස්සයි-20 ජාත්‍යන්තර තරග 5 න් 4 කදීම බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වී ඇත. බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අවසන් වරට විස්සයි-20 තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය කර ඇත්තේ මීට වසර 8 කට පමණ පෙර 2014 වසරේ අප්‍රේල් මාසයේදීය.

ඒ අනුව මේ දක්වා අපරාජිතව සිටින ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයටද හෙට තරග ඉතාමත් තීර්ණාමක්ම වන අතර ඉන් ජයගන්නා කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ විස්සයි-20 කාන්තා ක්‍රිකට් ඉසව්ව සඳහා සුදුසුකම් ලබාගන්නා අවසන් කණ්ඩායම බවට පත්වනු ඇත. මේ වන විටත් සත්කාරක එංගලන්තය සමගින් කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 7 ක් එම ඉසව්ව සඳහා සුදුසුකම් ලබා සිටිති.

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 7 ක් ඒ සඳහා ඍජුවම සුදුසුකම් ලබා ඇත. බටහිර ඉන්දීය කොදෙව්වන් ක්‍රිකට් ක්‍රීඩාවේදී එක් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී වෙනවෙනම රටවල් ලෙස ක්‍රීඩා කරන බැවින් ඔවුන්ගේ නියෝජිතයා ලෙස බාර්බඩෝස් කණ්ඩායම මෙවර පොදුරද මඩුලු තරගාවලිය සඳහා නම් කර ඇත.

ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්තානය තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබා සිටින සෙසු රටවල් 5 වෙති. එම ඉසව්වේදී ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්තානය සහ බාර්බඩෝස් රාජ්‍යය ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින අතර එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජය ගන්නා කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීර්ණාත්මක තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.