Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (28 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 155 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ ඕවර 3 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.
ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කළ අවසන් විස්සයි-20 තරග තුනේදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 217 ක් ලබා සිටි ඩේවිඩ් වෝනර්, මෙම තරගයේදී තවත් අර්ධ ශතකයක් (65) ලබාගනිමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. පන්දු 42 කදී ලබාගත් වෝනර්ගේ 19 වැනි විස්සයි-20 අර්ධ ශතකය හතරේ පහර 10 කින් සමන්විත විය. ලකුණු 18 ක් ලබා සිටියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ලබාදුන් උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා අතින් ගිළිහී යෑමත් සමග වෝනර්ට තවදුරටත් පිටියේ රැදී සිටීමට අවස්ථාව උදා විය.
වේගවත් පිතිහරඹයක නිතර වූ නායක ඒරන් ෆින්ච් පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 37 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියාවට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. වෝනර් සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 70 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ ෆින්ච්, සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක්ද දැමුවේය. පන්දු 7 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 16 ක් රැස්කළ මාකස් ස්ටොයිනස් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
සිය පළමු ඕවරයේදීම ෆින්ච්ගේ කඩුල්ල බිඳදැමූ වනිඳු හසරංග, තවත් ලකුණු 10 ක් ඇතුළත ග්ලේන් මැක්ස්වෙල්ද (5) පිටියෙන් ඉවත් කළ නමුත් එය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එතරම් පාඩුවක් නොවීය. ස්ටීවන් ස්මිත් (28) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගූ වෝනර් කෙමෙන් කෙමෙන් සිය කණ්ඩායම ජයග්‍රහණය අභියසට ගියේය. එහිදී ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ ස්මිත් පන්දු 26 කට මුහුණදෙමින් හතරේ පහරක් සමග ලකුණු රැස්‍කළේය.
කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 154 ක් ලබාගත්තේය. නායක දසුන් ශානක (12) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනැගූ භානුක රාජපක්ෂ (නොදැවී 33), ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන ගියේය. එහිදී පන්දු 26 කට මුහුණදුන් භානුක හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම අලංකාර කළේය.
ලකුණු 94 කට කඩුලු 5 ක් බිඳවැටීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය තරමක් අඩාල විය. 13 වැනි ඕවරයේ සිට 16 වැනි ඕවරය දක්වා කෙටි ලකුණු ලබාගනිමින් සිය කඩුුල්ල ආරක්ෂා කරගත් භානුක, අවදානම පසෙකලා මාකස් ස්ටොයිනිස් යැවූ 17 වැනි ඕවරයේදී ප්‍රහාරය ආරම්භ කළේය. එහිදී දුම්මල වරම අතට ගත් භානුක, පිට පිටම පන්දු 3 කදී ස්කුවෙයාර් ලෙග් කළාපය ඔස්සේ ගැසූ හතරේ පහර 2 ක් සහ ලෝන් ඕෆ් කළාපයට ඉහළින් ගැසූ හයේ පහරක් සමග ලකුණු 17 ක් රැස්කළේය.
තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක (7) පිටියෙන් ඉවත් කළ උප නායක පැට් කමින්ස් ශ්‍රී ලංකා කණ්ඩායම පීඩනයට පත්කිරීමට උත්සාහ ගත්තද, එම උත්සාහය ව්‍යර්ථ කළ චරිත් අසලංක තමා මුහුණ දුන් පළමු පන්දු දෙකම ස්කුවෙයාර් ලෙග් සහ මිඩ් ඕෆ් කළාප හරහා හතරේ සීමාව වෙත යැව්වේය. එතැනින් නොනැවතුණ ඔහු, ග්ලේන් මැක්වෙල් යැවූ පළමු පන්දුවටම ඩීප් මිඩ්විකට් කළාපයට ඉහළින් ගැසූ හයේ පහරකින් සංග්‍රහ කළ අතර එම ඕවරයේදී මැක්ස්වෙල්ගෙන් ලකුණු 16 ක් උදුරාගත්තේය.
අසංලකගේ ආක්‍රමණශීලී පිතිහරඹය හේතුවෙන් තරගයේ මුල් ඕවර 6 (අධිවේගී) අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 53 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වූ අතර එය මේ දක්වා සහභාගි වූ තරගවල අධිවේගී ඕවර 6 තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවද විය. කෙසේ වුවත් 10 වැනි සහ 11 වැනි ඕවරවලදී ලකුණු 8 ක් තුළත අසලංක සහ කුසල් පෙරේරා පිටියෙන් ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු පන්දුයවන්නන් සමත් වීමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.
මුලු ලකුණු සංඛ්‍යාව 78 ක්ව තිබියදී ඇඩම් සම්පාගේ පන්දුවක් හමුවේ දණ නමා ගැසූ ස්වීප් පහරකින් ඉහළින් ඇදී ගිය පන්දුව බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දුරකිමින් සිටි ස්ටීවන් ස්මිත්ගේ දෑත් අතර සිරවීමත් සමග අසලංකගේ ඉනිම ලකුණු 35 කට සීමා විය. එම දැවී යෑමත් සමග ඔහු සහ කුසල් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ගොඩනගා තිබූ ලකුණු 63 ක සම්බන්ධතාවද නිමාවට පත්විය. පිටියෙන් ඉවත්ව යන විට පන්දු 27 කට මුහුණදී සිටි අසලංකගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වී තිබිණ.
ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරමින් තරමක් සෙමින් ඉනිම ඇරඹූ කුසල් (35), සිය සුපුරුදු පිතිහරඹ රටාවට අවතීර්ණ වූයේ මාකස් ස්ටොයිනිස් යැවූ 9 වැනි ඕවරයේදී එක්ස්ට්‍රා කවර් සහ බැක්වඩ් පොයින්ට් කළාප ඔස්සේ පිට පිටම හතරේ පහර දෙකක් ගසමිනි. ඉන් අනතුරුව 11 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී මිචෙල් ස්ටාක්ට ලෝන් ඕන් කළාපයට ඉහළින් දැවැන්ත හයේ පහරක් ගැසීමට කුසල් සමත් වුවද, ස්ටාක් යැවූ තෙවැනි පන්දුවේදී ඔහු මුළුමුනින්ම පරාජයට පත් විය. ස්ටාක්ගේ යෝකර් පන්දුව කුසල්ගේ කඩුල්ල සිපගන්නා විට පන්දු 25 කට මුහුණදී සිටි කුසල් හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සරසා තිබිණ.
ඔවුන් දෙදෙනාගේ නික්ම යෑමෙන් අනතුරුව පිටියට පිවිසි අවිෂ්ක ප්‍රනාන්දුට (4) සහ වනිඳු හසරංගට (4) වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඇඩම් සම්පා සහ මිචෙල් ස්ටාක් ඉක් ලබා නොදුන්හ. ඒ අනුව ඕවර 9 ක් අවසානයේ ලකුණු 75 කට එක් කඩුල්ලක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඕවර 13 ක් අවසන් වන විට ලකුණු 95 කට කඩුලු 5 ක් බවට පත්විය. එම ඕවර 4 තුළදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 20 කට සීමා කළ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැදගත්ම කඩුලු 4 ක් උදුරාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.