Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විස්සයි-20 ලෝක කුසලාන තරග අරාබියේදී

විස්සයි-20 ලෝක කුසලාන තරග අරාබියේදී

editorial - 2021 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සහ ඕමානයේදී පැවැත්වෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි. ඉන්දියාවේ දැනට පවතින කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඕමානයට ගෙන ගොස් ඇත.

තරගාවලිය මේ වසරේ ඔක්තෝබර් මස 17 වැනිදා සිට නොවැම්බර් මස 14 වැනිදා දක්වා පැවැත්වේ. ඩුබායි, අබුඩාබි, සාජා සහ ඕමානයේදී තරග පැවැත්වේ.

මෙම තරගාවලිය පැවැත්වීමට කලින් සූදානම් කර තිබුණේ ඉන්දියාවේදීය. එහෙත් දැනට පවතින තත්ත්වය අනුව, මේ වසර අවසානයේදී ඉන්දියාවේ තවත් කොරෝනා රැල්ලක් මතුවීමේ අවදානම විශේෂඥයන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත. මේ හේතුවෙන් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සහ ඕමානයේදී පැවැත්වීමට ඉන්දියාව එකඟතාවය පළකර ඇත.

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පිහිටි ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, අබුඩාබියේ ෂෙයික් සයීඩ් ක්‍රීඩාංගණය, සාජා ක්‍රීඩාංගණය සහ ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණය යන ස්ථාන හතරකදී තරගාවලිය පැවැත්වෙනු ඇත. එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සහ ඕමානයේදී තරගාවලිය පැවැත්වුවද තරගාවලියේ සත්කාරකත්වය හිමිවන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයටයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය කණ්ඩායම් අටකින් සමන්විත වන අතර එම තරග ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙනු ඇත. එහිදි කාණ්ඩ දෙකක් යටතේ තරගාවලිය පැවැත්වෙන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඒ ඒ කාණ්ඩයන්හි පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක සුපිරි කණ්ඩායම් 12 අතර පැවැත්වෙන වටයට පිවිසෙනු ඇත. විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළින් සිටි කණ්ඩායම් 8 ස්වයංක්‍රීයම තරගාවලියට සුදුසුකම් ලබා තිබුණි.

බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය, ස්කොට්ලන්තය, නැමීබියාව, ඕමානය සහ පැපුවා නිව්ගිනියා යන රටවල් සුදුසුකම් ලබා ගැනීමේ මූලික අදියර සඳහා තරඟ වදින කණ්ඩායම් අටයි.

2016 දී ඉන්දියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී එංගලන්තය පරාජය කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් ශූරතාව දිනාගැනීමෙන් පසුව පැවැත්වෙන පළමු විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය මෙයයි.

“මෙවර (2021) විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය, සම්පූර්ණයෙන්ම ආරක්‍ෂිතව නියමිත කාලසීමාව තුල පවත්වා අවසන් කිරීම අපගේ ප්‍රමුඛතාවයයි.” යැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී ජෙෆ් ඇලර්ඩිස් මහතා පැවසීය.

“ඉන්දියාවේදී මෙම තරගාවලිය පැවැත්වීමට නොහැකිවීම ගැන අප කණගාටු වෙනවා.  ඒත් මෙම තීරණය නිසා ජෛව ආරක්ෂිත පරිසරයක් තුළ, බහු-කණ්ඩායම් ඉසව් රාශියක් පවත්වා අවසන් කළ, රටක මෙම තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය නිශ්චිතභාවය එක්සත් අරාබි එමීර් රාජ්‍යයය අපට ලබාදී තිබෙනවා”

“ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය සහ ඕමාන් ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කටයුතු කරමින්, රසිකයන්ට අපූරූ ක්‍රිකට් තරගාවලියක් දැකබලා ගැනීමට සලස්වන බවට අපි සහතික වෙනවා” යැයි ඇලර්ඩිස් මහතා වැඩිදුරටත් පැවසීය.

- 2079


අදහස් (0)

විස්සයි-20 ලෝක කුසලාන තරග අරාබියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.