Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විස්සයි-20 පිලේ කඩුලු රකින්නා කවුද

විස්සයි-20 පිලේ කඩුලු රකින්නා කවුද

editorial - 2022 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 (ශානුක අරවින්ද)

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී පැවැති 2021 ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සිට මේ දක්වාම ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ කඩුලු රකින්නාගේ ස්ථානය යම් ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබේ. ඒ ‍හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමනාකාරීත්වය ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම එම ස්ථානය සඳහා අදේශ කරමින් ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත 2022 ලෝක කුසලාන විස්සයි-20 තරගාවලිය සඳහා කඩුලු රකින්නකු සො‍යා‍ ගැනීමේ උත්සාහයක නිරතව සිටියි.

ඉකුත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළ කුසල් පෙරේරා උරහිසේ ආබාධයක් හේතුවෙන් එම තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර තරග බිමෙන් තාවකාලිකව ඉවත්විය. එම තරගාවලියේදී පිතිකරුවකු ලෙස අසාර්ථක වූ ඔහුට තරග 8 කදී ලබාගත හැකි වූයේ ලකුණු 123 ක් පමණි. තීර්ණාත්මක උඩ පන්දු කිහිපයක්ම බිම දැමීම හේතුවෙන් ඔහුගේ කඩුලු රැකීම සම්බන්ධයෙන්ද එහිදී‍ නොයෙක් විවේචන එල්ල විය.

ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩා නොකළද, එල්.පී.එල්. තරගාවලි‍යේදී කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළ කුසල් පෙරේරා එහිදීද තමාගේ සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වීමට අසමත් විය. කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී පන්දු 38 කින් ලකුණු 58 ක් රැස්කිරීමට කුසල් සමත් වුවද, ක්‍රීඩා කළ සෙසු තරග 6 දීම ඔහුට රැස්කරගත හැකි වූයේ ලකුණු 38 ක් පමණි.

කුසල් පෙරේරාගේ විවේක ගැනීමත් සමග එල්.පී.එල්. තරගාවලියේදී තරග නිමා කරන්නකු ලෙස දස්කම් දැක්වා සිටි දිනේෂ් චන්දිමාල්ට යළිත් ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ කඩුලු රකින්නාගේ කාර්යය පැවරිණ. එල්.පී.එල්. තරග 9 කදී අර්ධ ශතකයක් සමග ලකුණු 277 ක් රැස්කිරීමට චන්දිමාල් සමත් වූයේ 46.16 ක සාමාන්‍යයකට සහ 150.54 ක ලකුණු රැස්කිරීමේ වේගයකට හිමිකම් කියමිනි. කෙසේ වුවත් දේශීය තරග බිමේදී දැක්වූ එම දස්කම් ජාත්‍යන්තර තරග බිමේදී දැක්වීමට ඔහු අපොහොසත් විය.

එල්.පී.එල්. තරගාවලියෙන් අනතුරුව පැවැති ජාත්‍යන්තර තරගවලදී කඩුලු රකින්නකු ලෙස චන්දිමාල්ගේ කිසිදු වරදක් නොතිබුණද, පිතිකරුවකු ලෙස ඔහු අතින් විශාල වැරදි ප්‍රමාණයක් සිදුවිය. ඕස්ට්‍රේලියානු සංචාරයේ තරග 4 කදී ලකුණු 71 කට සීමා වූ චන්දිමාල්ට ඉන්දීය සංචාරයේ තරග 3 කදී ලබාගත හැකි වූයේ ලකුණු 41 ක් පමණි. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පළමු තරගයේදී පන්දු 16 කින් නොදැවී ලකුණු 25 ක් රැස්කිරිමේදී හැර සෙසු තරගවලදී ඔහුගේ සටන්කාමීත්වය දැකගත ‍නොහැකි විය.

එංගලන්තයේදී ‍ජෛව බුබුල කඩ කිරීමේ වරදට දඬුවම් ලෙස තරග තහනමකට ලක්ව සිට කුසල් මෙන්ඩිස්, තහනමින් මිදීමෙන් අනතුරුව එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කළ අතර ඔහු එම තරගාවලිය අවසන් කළේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. තරග 10 කදී අර්ධ ශතක 2 ක් සමග ලකුණු 327 ක් රැස්කිරීමට කුසල් සමත් වුවද, එහිදී ඔහුට කඩුලු රකින්නකු ලෙස කටයුතු කිරී‍මට ලැබුණේ තරග කිහිපයකදී පමණි.

ඕස්ට්‍රේලියාවට ‍එරෙහිව පැවැති අවසන් තරගයේදී චන්දිමාල් විවේක ගන්වමින් කමිල් මිෂාර කණ්ඩායමට එක්වීමත් සමග වසරකට පමණ පසුව යළිත් වරක් ජාත්‍යන්තර විස්සයි-20 තරගයකදී කඩුලු රැකීමේ කාර්යයේ නිරත වීමට කුසල් මෙන්ඩිස්ට අවස්ථාව හිමිවිය. කෙසේ වුවත් එහිදී ආබාධයකට ලක්වීම නිසා මෙන්ඩිස්ට ඉන්දීය තරගාවලිය අහිමි වූ අතර ඕට්‍රේලියානු තරගාවලියේ ක්‍රීඩා කළ තරග 3 දී ඔහු අර්ධ ශතකයක් සමග ලකුණු 100 ක් රැස්කිරීමට සමත් විය.  

ජාත්‍යන්තර අත්දැකීම් තිබුණද එල්.පී.එල්. තරගාවලියේදී පිතිකරුවන් ලෙස අසාර්ථක වීම හේතුවෙන් නිරෝෂන් දික්වැල්ලට සහ මිනෝද් භානුකට ඕස්ට්‍රේලියානු සහ ඉන්දීය විස්සයි-20 තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමක් නොලැබිණ. කෙසේ වුවත් එල්.පී.එල්. තරගාවලියේදී එක් තරගයකට හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලද, ජාත්‍යන්තර අත්දැකීම්ද නොතිබූ කමිල් මිෂාර ඕස්ට්‍රේලියානු සහ ඉන්දීය තරගාවලි දෙකේදීම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.

එල්.පී.එල්. තරගාවලියේදී තරග 10 කදී දික්වැල්ල ලකුණු 151 ක සීමා වෙද්දී, තරග 5 කට ක්‍රීඩා කළ මිනෝද් භානුකට රැස්කරගත හැකිවූයේ ලකුණු 43 ක් පමණි. එල්.පී.එල්. තරගාවලිය පුරා අවස්ථාවක් ලැබෙන තුරු බංකුවට වී බලා සිටි කමිල් මිෂාර ඕස්ට්‍රේලියාවේදී එක් තරගයකද, ඉන්දියාවේදී තරග 2 ක්ද ක්‍රීඩා කළ නමුත් එම තරග 3 දීම ඔහු රැස්කළේ ලකුණු 15 ක් පමණි. එම තරග 3 න් එකකදී හෝ ඔහුට කඩුලු රැකීමේ වගකීම පවරා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමනාකාරීත්වය පියවර ගත්තේද නැත.

මෙම කරුණු මත මේ වසරේ ‍ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත 2022 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා කවුරුන් වේවිදැයි කිසිවකුටත් අනුමාන කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබේ.‍ කෙසේ වුවත් ලෝක කුසලානයට පෙර සිය නිත්‍ය කඩුලු රකින්නා තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව ඇත්තේද තවත් ජාත්‍යන්තර විස්සයි-20 තරගවලි 2 ක් සහ සහ මෙම වසරේ (2022) එල්.පී.එල්. තරගාවලිය පමණි.

ටෙස්ට් තරග 2 කට, එක්දින තරග 5 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම වසරේ ජුනි සහ ජූලි මාසවලදී දිවයිනට පැමිණෙනු ඇත. මෙම වසරේ එල්.පී.එල්. තරගාවලියට අගෝස්තු මාසයේදි පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කරමින් සිටින අතර ආසියානු කුසලාන තරගාවලියද විස්සයි-20 තරගාවලියක් ලෙස සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට පෙර ආබාධ තත්ත්වයෙන් පූර්ණ සුවය ලබා කුසල් පෙරේරා යළිත් කණ්ඩායමට පැමිණේවිද, දිගින් දිගටම අසාර්ථ වූ චන්දිමාල්ට තවදුරටත් අවස්ථාව ලැබේවිද, දික්වැල්ල හෝ කමිල් මිෂාර සමගත් ඉදිරියේදී අත්හදා බැලීම් කරාවිද, එ‍සේ නැතහොත් කඩුලු රකින්නාගේ අත්වැසුම් යුගල ස්ථිරවම කුසල් මෙන්ඩිස් සතුවේවිද යන්න පිළිබඳව ක්‍රීඩා ලෝලීහු විමසිල්ලෙන් බලා සිටිති.


අදහස් (0)

විස්සයි-20 පිලේ කඩුලු රකින්නා කවුද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.