Last Update  :  2025-08-03 20:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විස්සයි-20 තරගාවලිය ඉදිරියටම

විස්සයි-20 තරගාවලිය ඉදිරියටම

editorial - 2021 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සංචිතගතව සිටි ක්‍රීඩකයන් තිදෙනකුට කොරෝනා වයිරසය අසාදිතව ඇති බව වාර්තා වේ. එහෙත් අසාදිත ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් නිසි ප්‍රතිකාර සඳහා යොමුකරමින් තරගාවලිය දිගටම පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

“මේ විස්සයි-20 තරගාවලිය සඳහා එකකට ක්‍රීඩකයන් 19 ක් විතර වෙන විදිහට (අතිරේක ක්‍රීඩකයන්ද ඇතුළත්ව) සංචිත 4 ක් තිබ්බා. සහාය නිලධාරීන් වගේම කණ්ඩායමේ බඩු බාහිරාදිය ගෙන යන අයත් එකතු කළාම එතන 120 කට වැඩි පිරිසක් ඉන්නවා”

“මූලික පී.සී.ආර්. පරීක්‍ෂණ වලදී මේ අයගෙන් ආසාදිතයන් තුන් දෙනෙක් විතරයි හම්බ වුණේ. එහෙම වුණා කියලා මේ තරගාවලිය අතහැර දාන්න බෑ... මොකද මෙතන ඉන්නේ තවත් සති දෙක තුනකින් අන්තර්ජාතික තරගාවලි කිහිපයකටම මුහුණ දෙන්න ඉන්න ක්‍රීඩකයන්” යයි කණ්ඩායම් වෙනුවෙන් නම් කර සිටින කළමණාකරුවෙක් පැවසීය.

මෙම තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩකයන් සියලු දෙනාම පාහේ මේ වන විටත් මහනුවර බලා ළඟා වී ඇති අතර ඔව්හු මහනුවර ‘ඕසෝ’ හෝටලයේ නතර වී සිටිති. තරගාවලිය විනිශ්චය කිරීම සඳහා නම්කරන ලද විනිසුරුවරුන් 6 දෙනා සහ තරග තීරකවරුන් තිදෙනා වෙනත් හෝටලයක නවාතැන් ගෙන සිටිති. මේ සියලු දෙනාම මේ මස 25 වැනිදා දක්වා අතිශය දැඩි රැකවල් මැද පවත්වාගෙන යනු ලබන ජෛව බුබුලක රැඳී සිටිති.

ක්‍රීඩකයන් අද දහවල් මහනුවරට ළඟා වූ අතර හෙට (අඟහරුවාදා) සිටම ඔවුන්ට පුහුණුවීම් කිරීමට අවස්ථාව හිමිවේ.

එක්දින සහ විස්සයි-20 තරගාවලි දෙකකට සහභාගි වීම සඳහා දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.

මෙම ආරාධිත විස්සයි-20 තරගාවලිය සංවිධානය කර ඇත්තේ ඉහත තරගාවලි සඳහා ක්‍රීඩකයන්ට පුහුණු අවස්ථාව දීමටත්, ශ්‍රී ලංකා කණ්ඩායම් තෝරාගැනීමේ පහසුවත් සඳහාය.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශීය තරගාවලි සියල්ලම ඇණහිට ඇති බැවින් ප්‍රධාන පෙළේ අන්තර්ජාතික තරගාවලිවලට පෙර ක්‍රීඩකයන්ට තරග පුහුණුව අවශ්‍යව තිබේ.

ශ්‍රී ලංකාවේ දක්‍ෂතම සීමිත ඕවර ක්‍රීඩකයන් 60 දෙනකු රෙඩ්ස්, බ්ලූස්, ග්‍රීන්ස් සහ ග්‍රේස් යනුවෙන් කණ්ඩායම් 4 කට බෙදා මෙම ආරාධිත තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ සියලුම තරග පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

තරගාවලිය ලබන බ්‍රහස්පතින්දා ආරම්භවීමට නියමිත අතර තරගාවලිය මේ මස 24 වැනිදා දක්වා පැවැත්වේ.


අදහස් (0)

විස්සයි-20 තරගාවලිය ඉදිරියටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.