Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද සාජා සිට...)
නායක දසුන් ශානක සහ තමා එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව හමුවේ ශ්‍රී ලංකාවට එංගලන්තය පරාජය කිරීමට අවස්ථාව තිබුණද, එංගලන්ත ක්‍රීඩකයන්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ තමාගේ කඩුල්ල බිඳවැටීම තරගයේ පරාජයට තීරණාත්මක බලපෑමක් කළ බව ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පැවසීය. විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය යටතේ පෙරේදා (1 වැනිදා) පැවැති තරගයේදී එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාව පරාජය වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව කියා සිටියේය.
ලකුණු 76 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී දසුන් ශානක (26) සමග එක්වූ වනිදු හසරංග (34) හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 53 සම්බන්ධතාවක් ගොඩනැගුවද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. ලෝන් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ජේසන් රෝයි සහ ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රකිමින් සිටි අතිරේක ක්‍රීඩක සෑම් බිලිංග්ස් එක්ව රැකගන්නා ලද අති විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙන් එම සම්බන්ධතාව නිමාවට පත් විය.
“දසුන් එක්ක බැට් කරනකොට මම හිතුවෙ පුලුවන් තරම් තරගය ඕවර 15, 16, 17 වගේ වෙනකම් පස්සට ඇදගෙන යන්න. එතකොට චාමික බැට් කරන්න හිටියා. දුෂ්මන්තටත් බැට් කරන්න පුලුවන්. ඒ නිසා මමයි දසුනුයි පුලුවන් තරම් සැලසුම් කළේ ඕවරයකට ලකුණු 8 ක්, 9 ක් ගහලා ඇදගෙන යන්න. ඒත් මම දැවීගිය එකෙන් කණ්ඩායමට ගොඩක් පාඩු වුණා.” යැයි වනිඳු පැවැසීය.
කඩුලු 14 ක් දවාගනිමින් ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා පැවති තරග වලදී වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින වනිඳු, එංගලන්ත තරගයේදී සිය 50 වැනි විස්සයි-20 කඩුල්ලද දවාගත්තේය. එම තරගයේදී දවාගත් කඩුලු 3 ත් සමග මේ වසර තුළදී බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 34 ක් දක්වා ඉහළ දමාගත් වනිඳු, දකුණු අප්‍රිකාවේ තබ්‍රේෂ් ශම්ෂි (32) පසුකර යමින් වසරේ (2021) වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමේ අවස්ථාවද මෙයින් උදා කරගත්තේය.
“මම හිතන්නේ මම තමයි දැනට මේ අවුරුද්දේ වැඩිම කඩුලු අරන් තියෙන්නේ. පා දග පන්දු යවන්නෙක් හැටියට එම තත්ත්වයට පැමිණීම ගැන මම හුඟක් සතුටු වෙනවා. අනිත් එක තමයි මේ මගේ පළවෙනි ලෝක කුසලාන තරගාවලිය. ඒ නිසා මගේ පළවෙනි ලෝක කුසලානයේදි මට මේ විදිහට දක්ෂතා අතරට පැමිණීමට ලැබීම ගැන සතුටුයි.” යැයිද එහිදී වනිඳු වැඩි දුරටත් කියා සිටියේය.
ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව මෙන්ම එංගලන්තයද වේග පන්දු යවන්නන්ට මුහුණදීමට වැඩි කැමැත්තක් දක්වන බව දැන දැනම එම තරගවලදී අතිරේක දඟ පන්දු යවන්නෙක් යොදා නොගනිමින් වේග පන්දු යවන්නන් තිදෙනකු සමග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පියවර ගත්තේය. එංගලන්තය හමුවේ පරාජය වීමට එය බෙහෙවින්ම බලපෑ අතර දඟ පන්දු යවන්නන්ගේ ඕවර 8 දී කඩුලු 3 ක් ලබා දෙමින් ලකුණු 34 කට සීමා වූ එංගලන්ත පිතිකරුවෝ, වේග පන්දු යවන්නන්ගේ ඕවර 12 තුළදී එක් කඩුල්ලක් පමණක් ලබා දෙමින් ලකුණු 128 ක්ම රැස්කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරග තුනේදී අතිරේක දඟ පන්දු යවන්නකු යොදා නොගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වනිඳු කියා සිටියේ දිගින් දිගටම එකම කණ්ඩායමක් ක්‍රීඩා කරවමින් ක්‍රීඩයන්ට විශ්වාසයක් ගොඩනගාදීමේ අරමුණක් කණ්ඩායමේ කලමණාකාරීත්වයට තිබූ බවය. එබැවින් අවසන් තරග කිහිපයේදී කණ්ඩායමේ වෙනස්කම් සිදු නොකළ බවත්, සහභාගි වූ තරග ජයගනිමින් කෙසේ හෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කණ්ඩායම උත්සාහ කළ බවත් වනිඳු සඳහන් කළේය.
“ලබන අවුරුද්දේ නැවතත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක් තියෙනවා අපි පුලුවන් තරම් බලනවා මේ තරගාවලියේදි වෙච්ච වැරදි හදාගෙන කණ්ඩයාමක් විදිහට ඉස්සරහට එන්න. ක්‍රීඩකයෝ ගොඩක් උනන්දු වෙනවා එයාලගේ ශාරීරික යෝග්‍යතාවය ගැන. ඒත් මම හිතන්නේ අපි තව තව දෙවල් කරලා දියුණු වෙන්න ඕනේ කියලා. ඒවයෙ ප්‍රතිඵල ඉදිරයේදී ලැබෙයි කියලා හිතනවා.”
“අපිට ගොඩක් තරුණ ක්‍රීඩකයන් ඉන්නේ. මේක ගොඩක් අයගේ පළමු ලෝක කුසලාන තරගාවලියයි. ඉතින් අපි පුලුවන් තරම් කණ්ඩායමක් විදිහට බැලුවා තම තමන්ගේ සියයට සියයක්ම කණ්ඩායමට දෙන්නෙ කොහොමද කියලා. කණ්ඩායමක් විදිහට අපි හොඳට කරන නිසා තමයි සෑම කණ්ඩායමකටම අපිව අබියෝගයක් වෙලා තියෙන්නෙ. ඒ දේවල් තව තවත් වැඩිදියුණු කරගෙන ඊළඟ ලෝක කුසලානය වෙනකොට හොඳ කණ්ඩායමක් හදාගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.”යැයිද වනිඳු පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.