Last Update  :  2025-07-30 20:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විරාට් කෝලි විස්සයි-20 කිරුළ අතහරී

විරාට් කෝලි විස්සයි-20 කිරුළ අතහරී

editorial - 2021 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(සැකසුම - දමින්ද විජේසූරිය)

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය වූ නැමීබියාවට එරෙහිව පැවැති තරගය කඩුලු 9 කින් ජයගැනීමට ඉන්දියාව සමත් වූ නමුත් විරාට් කෝලි විස්සයි-20 කණ්ඩායමේ නායකත්වයෙන් සමුගත්තේය. එහෙත් ඔහු ඉන්දියාවේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් වල නායකයා ලෙසින් ඉදිරියටත් කටයුතු කරනු ඇත.

මෙවර විස්සසි-20 ලෝක කුසලාන තරගාවලිය කෙරේ මහත් බලාපොරොත්තු සහගතව සිටියද තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට විරාට් කෝලිගේ ඉන්දීය කණ්ඩායම අපොහොසත් විය. එහි මූලික පසුබෑම ඇතිවූයේ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැති තරගයේදී නවසීලන්තය ජයගත් බැවිනි.

එතැන් සිටම ඉන්දීය කණ්ඩායම ලකුණු වේගය වැඩිකර ගැනීමේ බලවත් උත්සාහයක යෙදුණ නමුත් අවසානයේදී නවසීලන්තය විසින් ඇෆ්ඝනිස්ථානය පරාජය කරනු ලැබීමත් සමගම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මත ඉන්දියාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. විරාට් කෝලිගේ ඉන්දීය කණ්ඩායම තරග 5 කින් 3 ක් ජයගත් නමුත් ඉන්දියානුවන්ට මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අමිහිරි මතකයක් ලෙසින් ඉතිරි විය.

වසර 2017 දී මහේන්ද්‍ර සිං දෝනිගෙන් ඉන්දීය විස්සයි-20 පිලේ නායකත්වය බාරගත් විරාට් කෝලි ඉන්දියාවෙන් බිහිවූ සාර්ථකම නායකයකු ලෙසින් සැලකෙයි. විස්සයි-20 අන්තර්ජාතික තරග 50 කදී ඉන්දීය පිල මෙහෙයවූ විරාට් කෝලි ඒවායින් තරග 30 ක් ජයගෙන තිබේ. නායකයකු ලෙසින් ඔහු පරාජය වී ඇත්තේ තරග 16 කදී පමණි. නායකයකු වශයෙන් කෝලිගේ සාර්ථකත්වය 64.58 ්‍ර කි.

සීමිත ඕවර ලෝක කුසලාන තරගාවලි දෙකකදී නායකත්වය දැරූ නමුත් කෝලිට ඉන්දියාව වෙනුවෙන් ලෝක කුසලානයක් දිනාගත නොහැකි විය. එහෙත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය කණ්ඩායම ලෝකයේ අංක 1 ස්ථානයට රැගෙන ගිය කෝලිගේ කණ්ඩායම මේ වසරේදී පැවැති ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයේදී නවසීලන්තය හමුවේ පරාජය විය.

“එය (ඉන්දීය කණ්ඩායම මෙහෙයවීම) මට මහත් ගෞරවයක්. ඒත් සමහර දේවල් දිහා ඒවාට ආවේණික දෘෂ්ටිකෝණයකින් බලන්න වෙනවා. මගේ බර නිසියාකාරයෙන් කළමණාකරණය කරගන්න නියම වෙලාව මේකයි” යයි විස්සයි-20 නායකත්වයේ කිරුළ බිම තබමින් විරාට් කෝලි පැවසීය.

“අවුරුදු හය හතක් තිස්සේ නිවනක් නැති ක්‍රිකට් ක්‍රීඩාවක යෙදුණා. අපි පිට්ටනියට යන සෑම වෙලාවකම, අපෙන් විශාල දෙයක් බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදීත් මේක වෙනස් වෙන්නේ නැති වුණත්, ඒ තත්ත්වයට මුහුණ දෙන්න මට බැරිනම්, මම තවදුරටත් (නායකයකු ලෙසින්) ක්‍රීඩා කරන්නේ නෑ” 

“අතීතයේදී, මම නායකයා නොවුණත්, මා හැම තිස්සේම තරගය කොහාට ඇදෙන්නේද කියලා බලාගෙන සිටියා. ඉතින් ඉදිරියේදී වුණත්, මම නිකම් හිටගෙන ඉන්න කෙනෙක් වෙන්නේ නෑ” යයි ද විරාට් කෝලි කීවේය.

මුම්බායි ඉන්දියන්ස් පිලේ නායකයා මෙන්ම ජාතික කණ්ඩායමේ උපනායකයා ද වන රෝහිත් ෂර්මා, ඉන්දීය පිලේ මීළඟ විස්සයි-20 නායකයා ලෙසින් වැඩ බාරගනු ඇත. රෝහිත් ෂර්මාගේ නායකත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි.පී.එල්. ශූරතා 5 ක් දිනාගෙන තිබේ.

අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකත්වයෙන්ද ඉවත්වන කෝලි තමන්ගේ පිතිහරඹය සම්බන්ධයෙන් වැඩිදුරටත් උනන්දු වන බව කියයි.

විරාට් කෝලි සමගින් ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ රවී ශාස්ත්‍රි මහතාද සිය තනතුර හැර ගියේය. රවී ශාස්ත්‍රි මහතා මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තනතුර හැරයන බව කල්තබාම නිවේදනය කර තිබිණ. ටෙස්ට් තරග 164 ක සහ එක්දින තරග 344 ක් ක්‍රීඩා කර ඇති ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ප්‍රවීණයකු වන රාහුල් ද්‍රාවිඞ් මහතා ඉන්දීය පිලේ මීළඟ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරනු ඇත.


අදහස් (0)

විරාට් කෝලි විස්සයි-20 කිරුළ අතහරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.