Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විනය ධනය යයි කියාදුන් ක්‍රිකට් දිසාපාමොක්

විනය ධනය යයි කියාදුන් ක්‍රිකට් දිසාපාමොක්

editorial - 2020 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

විසිවන ශතවර්ෂයේ  අගභාගයේ  සහ 21 වන සියවසේදී ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ  දිශානතිය වෙනස් කළ අයෝමය පුරුෂයන් අතර දැවැන්තයෙකි නෙලසන් මෙන්ඩිස්.

මේ යුග පුරුෂයාණන් දශක හයක් තුළ පුහුණුකරුවකු වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය අගයමින් ආදී නාලන්දීයයෝ ජනවාරි 20 වැනිදා (අද) ප.ව. 6.30ට නාලන්දාවේ මලලසේකර ශාලාවේදී උපහාර උත්සවයක් සංවිධානය කර තිබේ.

දශක හයක් යනු මනුෂ්‍ය ජීවිතයේ දීර්ඝ කාලයකි.  මිනිසුන් තමන් ආශා කරන වැදගත් කටයුත්තකට ඔවුන්ගේ කාලය හා ශ්‍රමය කැපකරන විට, අනෙකුත් සියළුම පොදු බලවේගද ඔහුට සහය පලකරන බව මුසාවක් නොවේ.

සැබවින්ම තම ජීවිතයෙන් වැඩි කොටසක් ඔහු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කැප කළේය. ඔහුගේ අවංක බව, ප්‍රියමනාප බව, දැඩි කැපවීම, උද්‍යෝගය හා ක්‍රිකට් ක්‍රීඩාවට තිබූ  ආශාව වසර 60ක් ක්‍රිකට් ක්‍රීඩාවේ රැඳී සිටීමට ඔහුට උදව් විය.

ක්‍රිකට් ගුරු නෙල්සන් මෙන්ඩිස් මහතා අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනි.  ඔහු ධර්මාශෝකයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාය මෙන්ම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩායමේ නායකයා හෙවත් සාජන්වරයාද විය. පසුව නෙල්සන් මෙන්ඩිස් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස අධ්‍යාපන දෙපාර්තුමේන්තුව, යුද හමුදා ක්‍රීඩා සමාජය, ආදී ධර්මාශෝක ක්‍රීඩා සමාජය, බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා සමාජය හා සිංගර් ශ්‍රී ලංකා ක්‍රීඩා සමාජය නියෝජනය කළේය.

නෙල්සන් මෙන්ඩිස් මහතා ක්‍රිකට් පුහුණු කරුවෙකු වශයෙන් 1960 දී පිටියට පිවිසියේ තම පාසලෙනි, එනම් ධර්මාශෝකයෙනි. ඒ සමගම වාගේ ඔහු ගුරු වෘත්තියටද බැඳුණේය. එසේම ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා සේවයටද එක්විය. පාසල් ගුරුවරයකු මෙන්ම ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකායේ කපිතාන්වරයකුද වූයෙන් මෙන්ඩිස් මහතා නාලන්දා ගුරුවරුන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස වාර්ෂික ආනන්ද - නාලන්දා ගුරුවරුන්ගේ ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කළේය. ඔහු දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙකු ද විය.

නෙල්සන් මෙන්ඩිස් මහතා නාලන්දා මාතාවට සම්බන්ධ වන්නේ 1965 දීය. එම තරුණ ගුරුවරයාව නාලන්දාව දෝතින් පිළිගන්නේය. 1965-1969 දක්වා කෙටි කලක් තුලදී ඔහුට නාලන්දාවේ ක්‍රිකට්, ශිෂ්‍යභට හා විනය පාලනය භාර විය. ඔහු එය මැනවින් ඉටු කළේය. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක් ඔහුගෙන් ගුරුහරුකම් ලැබුහ.

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වූ බන්දුල වර්ණපුර, ලලිත් කළුපෙරුම, පාලිත සෙනෙවිරත්න, ලෙස්ලි නාරංගොඩ, ජයන්ත සෙනෙවිරත්න, නන්දදේව පෙරේරා, සුනිල් ජයසිංහ, ධම්මික සමරවික්‍රම මුල් කාලයේදී ඔහුගෙන් ක්‍රිකට් ශිල්ප ලද කිහිප දෙනෙකි. ඒ කාලය තුලදීම ඔහු අනුර රණසිංහ, ලාල් පීරිස්, මධුර විජේවික්‍රම, ආනන්ද ජයවීර යන දක්ෂ ක්‍රීඩකයන් රැසක් ද සොයා ගත්තේය.

නෙල්සන් මෙන්ඩිස් මහතා 1969 දී පුහුණු ගුරුවරයෙකු ලෙස ගුරු අභ්‍යාස විද්‍යාලයට බැඳුණද 1971 දී ඇතිවූ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල හේතුවෙන් ඔහු ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා සේවයට කැඳවන ලදි.

කෙසේ වෙතත් 1975 දී නෙල්සන් මෙන්ඩිස් මහතාට දෙවැනි වතාවටත් නාලන්දාවේ සේවයට එන්නට ලැබුණි. එතැන් සිට පුරා අවුරුදු 10 කට වැඩි කාලයක් නාලන්දාවේ සේවය කළේය. ඔහුට නාලන්දාවේ ක්‍රිකට් භාර වුනි. ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවකු වූ  ජෙරී ගුණරත්න සමඟ නෙල්සන් මෙන්ඩිස්ට එකට කටයුතු කිරීමට එම කාල වකවානුව තුළදී  හැකි විය. ඔහු ජෙරී ගුණරත්න මහතාට මනා සහයක් දුන්නේය.

ජෙරී - නෙල්සන් සම්බන්ධතාව නාලන්දාවෙන් ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරීමට ප්‍රධාන හේතුවක් විය. අනුර රණසිංහ, රවින්ද්‍ර ප්‍රනාන්දු, යොහාන් ගුණසේකර, එස්. පී. ප්‍රනාන්දු, සුසන්ත කරුණාරත්න, හේමන්ත දේවප්‍රිය, කීර්ති රණසිංහ, සනත් කළුපෙරුම, රොෂාන් ගුණරත්න, අසංක ගුරුසිංහ, දේවක මහානාම සහ රොෂාන් මහානාම, ගාමිණී වික්‍රමසිංහ, කුෂාන් වීරසිංහ, සඳුන් කපුගීකියන, කුමාර් ධර්මසේන, චමින්ද හඳුන්නේට්ටිගේ, රමේෂ් ද සිල්වා, නිශාන් සිල්වා, දමින්ද විජේසේකර, චාමර දුණුසිංහ ඉන් කිහිප දෙනෙකි.
නෙල්සන් මෙන්ඩිස් මහතා දැඩි විනයක් ඇති පුද්ගලයෙකි. ඔහු  තරුණ  ක්‍රීඩකයන්ට කියා දෙන ප්‍රථම පාඩම විනය පිළිබඳවයි. ස්වයං විනය තුලින් පුද්ගලයන් සංවර්ධනය කල හැකි බව ඔහු මනා සේ අවබෝධ කරගෙන තිබුණි.

ඔහුගේ ක්‍රිකට් සිප්හලට පැමිණෙන ඕනෑම දරුවෙකුට විනයගරුක බවේ වැදගත්කම මනාව අවබෝධ කර දුන්නේය. ඔහු සෑම විටම  ශිෂ්‍ය නායකයන්, ශිෂ්‍යභටයින්, ක්‍රිකට් ක්‍රීඩකයින් හා ශිෂ්‍යයින්ට  හුරු කළේ සීමාවන්ට කොටු නොවී පුළුල් දැක්මක් ඇති කර ගැනීමටයි. සීමාවන් බිඳ හෙලමින් ජාත්‍යන්තර තලයට යෑමට පුරුදු කළේ “නොහැක්කක් නොමැත”  යන පාඨය තදින්ම ශිෂ්‍යයන්ගේත් කුඩා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේත් සිත් වලට කාවද්දමිනි.

කලට වේලාවට වැඩ කිරීම නෙල්සන් මෙන්ඩිස් මහතා ආදර්ශයෙන්ම ඔප්පු කර පෙන්වූ ගුණාංගයකි. ක්‍රිකට් පුහුණු වීම් වලට ප්‍රමාද වී එන ඕනෑම අයෙකුට දඬුවම් ලැබීම අනිවාර්ය කරුණක් විය.

නාලන්දා කණිෂ්ට ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස පුහුණු වීම් පටන් ගැනීමට ප්‍රමාද වීම හේතුවෙන් නෙල්සන් මෙන්ඩිස් මහතාගෙන් දඬුවම් ලැබූ බව නම් රොෂාන් මහානාමගේ චරිතාපදානයේ  සඳහන් කර ඇත. නෙල්සන් මෙන්ඩිස් ගුරුතුමා කාටත් එක ලෙස සැලකු බවට මෙය කදිම උදාහරණයකි.

ඇඳුම ගැන දැඩි අවධානයක් නෙල්සන් මෙන්ඩිස් ගුරුතුමාට තිබුණි. ඔහු දවල් කාලයේ ලා පැහැ වර්ණයෙන් (බොහෝ විට සුදු) ඇඳුම් ඇඳ සිටි අතර රාත්‍රී සාද  සඳහා පමණක් තද වර්ණ ඇඳුම් පාවිච්චි කළේය. සිසුන්ට කොණ්ඩය කොටට කපන්නට උනන්දු කළේය. පාවහන් හොදින් ඔපදමා පැළඳීමට අවවාද කළේය. සුදු කලිසම හා කමිසය පිරිසිදුව හා පිළිවෙලට ඇඳීමට උපදෙස් දුනි.

එක්තරා පාසල් දිනක නෙල්සන් මෙන්ඩිස් මහතාට “සුබ උදෑසනක්” යයි සුබ පැතූ සිසුවකුට ලැබුණේ පිළිතුරු සුබපැතුමක් නොවේ. දඬුවමකි. හේතුව මෙම සිසුවා කමිසයේ උඩ බොත්තම පියවා නොසිටි බැවිනි. දඬුවම දැඩි වූයේ ඔහු ශිෂ්‍ය නායකයෙකුද වීම හේතුවෙනි. ඔහු නාලන්දාවේ ශිෂ්‍ය නායක ලාංඡනය පැළඳ සිටියේ කමිසයේ උඩ බොත්තම ඇරගෙනය. එදා ලද පාඩමට අනුව මෙම සිසුවා අදත් කමිසයක් හෝ බැනියමක් (ටී ෂර්ට්) අඳිනවිට අමතක නොකර එහි උඩ බොත්තම දමයි.

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හැසිරීම, චර්යාව ගැන නෙල්සන් මෙන්ඩිස් මහතා දැඩි අවධානයක් යොමු කළේය. ඔවුන් අඳින පළඳින ආකාරය, පිටියට පිවිසෙන ආකාරය, පිත්ත රැගෙන යන ආකාරය, ඉන්න ලබාගන්න ආකාරය, දැවී යාමෙන් පසුව ක්‍රීඩාගාරය වෙත පැමිණෙන ආකාරය, කණ්ඩායමක් ලෙස පිටියේ හැසිරෙන ආකාරය ආදී මෙකී නොකී කාරණා සම්බන්ධයෙන් මෙන්ඩිස් මහතා කුඩා කාලයේ සිටම ක්‍රීඩකයන්ට ගුරුහරුකම් දුන්නේය.

විනිසුරුවරයාගේ තීරණය අවසන් තීරණය වන අතර කිසිම ක්‍රීඩකයෙකු ඊට එරෙහිව කිසිම දෙයක් නොකළ යුතු විය. නොසැලකිලිමත්කමින් හෝ විනිසුරුවරයාට එරෙහිව ප්‍රතිචාර දක්වුවහොත් ක්‍රීඩකයා නැවත පිටියට ගොස් විනිසුරුගෙන් සමාව ගත යුතුය.

නෙල්සන් මෙන්ඩිස් මහතා නාලන්දාවේ ඉංග්‍රීසි විෂය ඉගැන්වූ ගුරුවරයෙක්ද විය. නෙල්සන් මෙන්ඩිස් මහතාට ළමා මනස ගැන ගැඹුරු අවබෝධයක් තිබුණි. හෙතෙම දරුවන්ට නිදහසේ ක්‍රීඩා කිරීමට දුන්නේය. පාසලේ විවේක කාලය තුලදී සිසුන් ටෙනිස් බෝල යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩා කරනු ඕනෑකමින් බල සිටින නෙල්සන් මෙන්ඩිස් මහතා තමන් දකින දක්ෂයින්ව පුහුණුවීම් සඳහා කැඳවයි. හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු වූ අනුර රණසිංහ වැන්නන් හඳුනා ගන්නට ඔහුට හැකිවුණේ එම අරමුණෙන් යුතුව  ක්‍රීඩා පිටියේ ඇවිදිමින් ළමයින් නිරීක්ෂණය කළ බැවිනි.

මෙන්ඩිස් මහතා නාලන්දාවෙන් ඉවත් වී සිංගර් ශ්‍රී ලංකා ආයතනයට බැඳුණේය. ඉන් විශ්‍රාම ගිය මෙන්ඩිස් මහතා සී.සී,සී. ක්‍රිකට් සිප්හල ආරම්භ කළේය. අද ඔහු සී.සී.සී, ක්‍රිකට් සිප්හලේ පුහුණුවීම් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි. නාලන්දාවට නොගියද සී.සී.සී, ක්‍රිකට් සිප්හලේ පුහුණුවීම් ලබා ටෙස්ට් වරම් ලත් ක්‍රීඩකයෝත් සිටිති.

හෙට (ජනවාරි 20 වැනිදා) 82 වැනි වියට පා තබන නෙල්සන් මෙන්ඩිස් මහතාට සිය බිරිඳ වන විශාකා මෙන්ඩිස්ගෙන් ලැබෙන්නේ කදිම සහයෝගයකි. ඔහුගේ පුතණුවන් වන අකිල මෙන්ඩිස් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරයි. අවංකවම ගුරු වෘත්තියටත් ක්‍රිකට් ක්‍රීඩාවටත් කැපවූ නෙල්සන් මෙන්ඩිස් වැනි ගුරුවරු ජාතියේ සම්පතකි.

ගුරුතුමනි! ඔබට තවත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් බිහි කරන්නට ධෛර්යය, ශක්තිය හා නිදුක් නීරෝගී කම ලැබේවා!


- (අතුල ජයසේකර)

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා


අදහස් (2)

විනය ධනය යයි කියාදුන් ක්‍රිකට් දිසාපාමොක්
  • සුදන්ත ද සිල්වා Friday, 28 February 2020 08:34 AM

    ක්‍රිකට් ක්‍රීඩාවට අමිල සේවයක් කළ මෙතුමාට තව දීර්ඝ කාලයක් අප රටේ දරුවන්ට නොනිමි සේවයක් ලබා දෙන්න. තෙරුවන් සරණින් හැකිම වේවා!! දීර්ඝායු වේවා ! නීරෝගිම වේවා ! ආවඩා ආයුබෝවේවා ගුරුතුමනි.

    Reply 0       0

    L..H.A.R.De.Silva Sunday, 26 April 2020 03:57 AM

    ගුරුතුමනි, මම ඇතුළු නාලන්දියන් ඔබගේ සහ ඔබගේ සොයුරු යටතේ නේවාසිකාගාරයේ දීත්, ශිෂ්‍ය භට බලකායේද, ඉංග්‍රීසි පන්තියේද ඔබගේ විශිෂ්ට ගුරු සේවාවන් ගැන අදත් අපි හමු වූ විට ප්‍රශංසාවට කතා කරනවා. ඔබට දීර්ඝායුෂ ලැබේවා...!!!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.