වළාකුළු හරස්වී සැලසුම් අවුල්වෙයි
(දමින්ද විජේසූරිය)
දෙවැනි ටෙස්ට් තරගයේදීත් පළමු වැන්නට වඩා වෙනසක් නොපෙනෙන ගානය. තරගයේ සම්පූර්ණ දින දෙකක්ම නිමා වූ නමුත් තවමත් එක ඉනිමක් වත් හමාර කරගත හැකිවී නැත. එහෙත් මේ වතාවේදී දෝෂාරෝපණය බාරගත යුත්තේ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට ඉහළින් එක්රොක් වී තිබූ අඳුරු වළාකුළු මිස ක්‍රීඩකයන් හෝ තණතීරුව නම් නොවේ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (30 වැනිදා) පස්වරුවේදී මන්දාලෝකය හේතුවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 469 ක් ලබා සිටියේය.
තරමක් වේගයෙන් ලකුණු සොයා ගිය නිරෝෂන් දික්වැල්ල, හතරේ පහර 7 ක්ද සමගින්, පන්දු 64 කදී ලකුණු 64 ක් ලබා සිටියද අපේක්‍ෂිත ඉලක්කය සොයා යාමේදී වැසිබර වළාකුළු ඊට හරස් විය. මන්දාලෝකය නොවූවා නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය වූයේ, හැකි ඉක්මනින් ලකුණු 500 කඩයිම පැනගෙන, අවසන් හෝරාවේදී පන්දුවට පහර දෙන මෙන් බංග්ලාදේශ පිතිකරුවන් මැදට තල්ලු කිරීමයි.
නිරෝෂන් දික්වැල්ල සිය ශතකය සොයා යද්දී රමේෂ් මෙන්ඩිස් ඔහුට අගනා සහයෝගයක් දුන් නමුත් වැසි වළාකුළු පැමිණ දික්වැල්ල සොයමින් සිටින ඔහුගේ මංගල ටෙස්ට් ශතකය තවත් පමා කළා පමණක් නොව ශ්‍රී ලංකා පිලේ සැලසුම් ද අවුල් කර දැමීය.
පෙරවරුවේ තරගය ආරම්භ වී පළමු හෝරාව පරෙස්සමෙන් ගෙවා දැමූ ඕෂධ ප්‍රනාන්දු සහ තිරිමාන්න දෙදෙනා තමන්ගේ වගකීම අකුරටම ඉටුකළහ. එහෙත් දිවා ආහාරයට විනාඩි කිහිපයක් ඉතිරිව තිබියදී පිතිකරුවන් තිදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට යැවීමට ටස්කින් අහමඩ් සහ තයිජුල් ඉස්ලාම් සමත් වූහ.
දිවා ආහාරයෙන් පසුව නැවතත් තරගයේ පාලනය අතට ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ඕෂධ ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක දෙදෙනාම පන්දු 4 ක් ඇතුළතදී දැවී ගියහ. පැය 5කට මඳක් වැඩි කාලයක් (විනාඩි 313 ක්) පිටියේ සිටි ඕෂධගේ පන්දු 221 ක ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 8 ක් පමණි. ලකුණු 49 ක් සඳහා දිව යන්නට ඕෂධට සිදුවිය.
එතැනින් නැවතත් පන්දු යවන්නන්ට වද දීම ආරම්භ කළ නිරෝෂන් දික්වැල්ල සහ හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට මුහුණ දුන්නේ ඕවර යන්තම් ඕවර 20 ක් පමණි.
කොරෝනාවෙන් පසුව, මාස 4 ක කාලයක් ඇතුළත ටෙස්ට් තරග 7 කට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඒවායින් එකක් වත් ජයගෙන නැත.
බංග්ලාදේශ පන්දු යවන්නන් අද දිවා ආහාරයට පෙර සාර්ථක පන්දු යැවීමක නිරත වූ නමුත් එක්තරා අන්දමකට ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අපරික්‍ෂාකාරී පිතිහරඹයත් කඩුලු බිඳ වැටීමට දායක විය.
තරගයේ තුන්වැනි දිනය හෙටයි එහෙත් අද දිනයේ වැඩි වේලාවක් අපතේ ගිය හෙයින් හෙට දිනයේ තරග පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතය.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව - පළමු ඉනිම
දිමුත් කරුණාරත්න - ඇ.ලිටන් දාස් ප.ෂොරිෆුල් ඉස්ලාම් 118
ළහිරු තිරිමාන්න - ඇ.ලිටන් දාස් ප.ටස්කින් අහමඩ් 140
ඕෂධ ප්‍රනාන්දු - ඇ.ලිටන් දාස් ප.මෙහෙදි හසන් 81
ඇන්ජලෝ මැතිව්ස් - ඇ.ලිටන් දාස් ප.ටස්කින් අහමඩ් 5
ධනංජය ද සිල්වා - ඇ.නජ්මුල් හොසේන් ප.තයිජුල් ඉස්ලාම් 2
පැතුම් නිස්සංක - ප.ටස්කින් අහමඩ් 30
නිරෝෂන් දික්වැල්ල - නොදැවී 64
රමේෂ් මෙන්ඩිස් - නොදාවී 22
අතිරේක 7
එකතුව ඕවර 155.5 කදී කඩුලු 6 ක් දැවී 469
කඩුලු වැටීම :
1-209(දිමුත් කරුණාරත්න), 2-313(ළහිරු තිරිමාන්න), 3-319(ඇන්ජලෝ මැතිව්ස්), 4-328(ධනංජය ද සිල්වා), 5-382(පැතුම් නිස්සංක), 6-382(ඕෂධ ප්‍රනාන්දු)
පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ
සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රවීන් ජයවික්‍රම
පන්දු යැවීම :
අබු ජායිද් : 22-4-69-0, ටස්කින් අහමඩ් : 32.5-7-119-3, මෙහෙදි හසන් : 34-7-102-1, ෂොරිෆුල් ඉස්ලාම් : 29-6-91-1, තයිජුල් ඉස්ලාම් : 38-7-83-1