Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වසරේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩකයා රිස්වාන්
විස්සයි-20 ක්‍රිකට්

වසරේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩකයා රිස්වාන්

editorial - 2022 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉකුත් වසරේ (2021) විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පාකිස්තාන කණ්ඩායමේ කඩුලු රකින මොහාමඩ් රිස්වාන් තේරී ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් සභාව අද (23 වැනිදා) නිවේදනය කළේය. ඒ අනුව ඔහු ඉදිරියේදී පැවැත්වීමට නියමිත වාර්ෂික ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී වසරේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීමට නියමිතය.

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, ඕස්ටේ්‍රලියානු පිතිකරු මිචෙල් මාෂ් සහ එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර්ද 2021 වසරේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී සිටියහ.

ඉකුත් වසරේදී විස්සයි-20 තරග 29 කට ක්‍රීඩා කර ඇති රිස්වාන් එහිදී ශතකයක් සහ අර්ධ ශතක 12 ක් සමග රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 1326 කි. එහිදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 73.66 ක අගයක් ගන්නා අතර ලකුණු රැස්කිරීමේ වේගය 134.89 ක් ලෙස සටහන් වේ. එහිදී දවාගැනීම් 24 කටද රිස්වාන් සිය දායකත්වය ලබාදී ඇත.

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පාකිස්තානය රැගෙන ඒම සඳහා මනා දායකත්වයක් දුන් රිස්වාන්, එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයටද පත් විය.

දකුණු අප්‍රිකාවට එරෙහිව ලාහෝර් නුවර පැවැති තරගයකදී සිය මංගල විස්සයි-20 ශතකය (නොදැවී 104) ලබාගනිමින් 2021 වසර ආරම්භ කළ රිස්වාන්, වසර අවසන් කළේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කරච්චි නුවර පැවැති තරගයකදී ලකුණු 87 ක් රැස්කරමිනි.

“එය මට ඉතාමත් සුවිශේෂී වසරක්. විශිෂ්ඨම විස්සයි-20 ක්‍රීඩකයා බවට පත්වීම සඳහා මට මනාපය පල කළ සියලු දෙනාටම ස්තූතියි. මේ වසරේදී ඊටත් වඩා හොඳින් ක්‍රීඩා කරලා මගේ රටට කීර්තියක් ලබා දෙන්න මම උත්සාහ කරනවා. මා සමග පුහුණුවීම් කළ පුහුණුකරුවන්ට සහ ක්‍රීඩා කළ සියලුම ක්‍රීඩකයන්ටත් මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.” යැයි රිස්වාන් පැවසීය.


-036

 


අදහස් (0)

වසරේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩකයා රිස්වාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.