Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රහීම් තනි අතින් ශ්‍රී ලංකාව මෙල්ල කරයි

රහීම් තනි අතින් ශ්‍රී ලංකාව මෙල්ල කරයි

editorial - 2021 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දුෂ්මන්ත චමීර (44/3) සහ ලක්ෂාන් සඳකැන් (54/3) දෙදෙනාගේම උත්සාහය වතුරේ දියකර හැරිය මුෂ්ෆිකුර් රහීම් තනි අතින් බංග්ලාදේශය ඉදිරියට තල්ලු කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව අද (25 වැනිදා) පැවැති  දෙවැනි එක්දින තරගයේදී ලකුණු 103 ක ජයක් කරා යාමට බංග්ලාදේශ කණ්ඩායමේ ජය මාවත විවර කර දුන්නේය. ඩකා අගනුවර ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී තරග දෙකකදී ලකුණු 209 ක් ලබාගත් මුෂ්ෆිකුර් පිට පිටම දෙවැනි වතාවටත් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.

වරින් වර වර්ෂාවෙන් බාධා එල්ල වූ තරගයයේ, බංග්ලාදේශ ජයග්‍රහණය වෙනුවෙන් කඩුල්ලක් ලබාගැනීම පමණක් ඉතිරිව තිබියදීත් වර්ෂාව නැවතත් ඩකා ක්‍රීඩාංගණයට කඩා වැදුණේය. ලකුණු 247 ක ඉලක්කයක් කරා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාව ඇද හැළෙන අවස්ථාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 126 ක් ලබා සිටියේය. වර්ෂාවෙන් පසුව ඩක්වර්ත් / ලුවිස් න්‍යායට අනුව, ශ්‍රී ලංකා පිලේ ඉලක්කය, ඕවර 40 කදී ලකුණු 245 ක් දක්වා වෙනස් කරන ලදි. 40 වැනි ඕවරය අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා සිටියේ කඩුලු 9 ක් දැවී ලකුණු 141 ක් පමණි.

මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය, තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙසින් ජයගැනීමට සමත් වූ බංග්ලාදේශය එක්දින ලෝක කුසලන සුපිරි ලීගයේ ප්‍රසාද ලකුණු පුවරුවේ මුදුනටම නැගගත්තේ තරග 8 කදී ප්‍රසාද ලකුණු 50 ක් ලබාගනිමිනි. තරග 5 ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව තරග සියල්ලම පරාජය වී තිබේ.

අද තරගයේදීත් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 246 ක් පමණි. අද දිනයේ ඉලක්කය පළමු තරගයට වඩා පහසු වූවත්, මැද පෙළ පිතිකරුවන්ගේ දැඩි අසාර්ථකත්වය හේතුවෙන් ලකුණු 51 ක් ඇතුළතදී ශ්‍රී ලංකා පිතිකරුවෝ හත් දෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට ගියහ.

වරෙක කඩුලු 2 කට ලකුණු 71 ක්ව තිබූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඕවර 18 ක් ඇතුළතදී කඩුලු 9 කට 122 ක් ලෙසින් වෙනස් කිරීමට මෙහෙදි හසන් මිරාස් (28/3), සකිබ් අල් හසන් (38/2) සහ මුස්ටෆිසුර් රෙහෙමාන් (16/3) සමත් වූහ.

එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට (1971 - 2021) අඩසිය වසරක් සපිරෙන මේ වසරේදී එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු වැනි ‘සහන ආදේශකයා’ ලෙසින් තරග බිමට පිවිසි ටස්කින් අහමඩ් කඩුලු දවා නොගත් නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් අන්ද මන්ද කරමින් සිය ඕවර 8 ලකුණු 27 කට සීමා කළේය. පන්දුවට පහර දෙමින් සිටියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හිස් ආවරණයේ වැදීම නිසා හෝන්දු මාන්දු වූ අෆිෆ් හොසේන් වෙනුවට ටස්කින් අහමඩ් පන්දු යැවීම සඳහා පිටියට පිවිසියේය. එහෙත් ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ක්‍රීඩකයන් 11 දෙනා අතරට එක්ව සිටියේ නැත.

බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ පන්දු රැකීම ඉතා ඉහළ මට්ටමක පැවැති හෙයින් ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ලැබුණු සියලුම උඩපන්දු රැකගැනීමට ඔව්හු සමත් වූහ.

පළමු එක්දින තරගයේදී අලංකාර ලකුණු 84 ක් ලබාගනිමින් තරගයේ වීරයා වූ මුෂ්ෆිකුර් රහීම්, එදා තරගයේදී ලබාගත නොහැකි වූ ශතකය අද තරගයේදී සම්පූර්ණ කළේය.

බංග්ලාදේශ කණ්ඩායම උරමත තබාගෙන ගිය රහීම් සිය කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාවෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් රැස්කර ගත්තේය.

ලකුණු 74 දී සිව්වැනි කඩුල්ලත් බිඳ වැටුණ නමුත් බංග්ලාදේශයේ වඩාත්ම පළපුරුදු පිතිකරුවන් දෙදෙනා වන මුෂ්ෆිකුර් රහීම් සහ මහමදුල්ලා එක්ව නැවත වරක් කණ්ඩායම ගොඩගත්හ. රහීම් සුපුරුදු සංයමයෙන් යුතුව පිතිහරඹයේ යෙදෙද්දී මහමදුල්ලා අවදානමට මුහුණ දෙමින් පන්දු 58 කදී ලකුණු 41 ක් ලබාගත්තේය. නායකත්වය අතරේ කඩුලු රැකීමේ වගකීමද කරපින්නාගෙන සිටින කුසල් ජනිත් පෙරේරාගේ අති විශිෂ්ට පන්දු රැකීමකින් මහමදුල්ලා දැවී යාමත් සමගම පන්දු 107 ක් පුරා පැවැති ලකුණු 87 ක සම්බන්ධතාව බිඳ වැටිණ.

මහමදුල්ලා දැවී ගිය නමුත් ක්‍රමානුකූල ආක්‍රමණයක නිරත වූ හිටපු නායකයා සිය අර්ධ ශතකය වෙනුවෙන් පන්දු 70 කට මුහුණ දුන් නමුත් එතැන් සිට ලබාගත් ලකුණු 75 වෙනුවෙන් මුහුණ දුන්නේ පන්දු 57 කට පමණි. ඔහුගේ ඉනිම හතරේ පහර 10 ක් ඇතුළත් වූ නමුත් බංග්ලාදේශයේ සම්පූර්ණ ඉනිමටම තිබුණේ හතරේ පහර 19 ක් පමණි.
තරගාවලියේ අවසන් එක්දින තරගය 28 වැනිදා (සිකුරාදා) පැවැත්වීමට නියමිතය.


අදහස් (1)

රහීම් තනි අතින් ශ්‍රී ලංකාව මෙල්ල කරයි
  • shammi silva Tuesday, 25 May 2021 05:27 PM

    ඔයාලා දන්නවද ඇයි අපේ කොල්ලන්ට හරියට සෙල්ලම් කරන්න බැරිවුණේ කියලා..?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.