Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රමේෂ්ගේ පිතිහරඹයෙන් හේලීස් පිල අවසන් සටනට

රමේෂ්ගේ පිතිහරඹයෙන් හේලීස් පිල අවසන් සටනට

editorial - 2025 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද) 

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන 32 වැනි ‘සිංගර් කුසලාන’ වෙළෙඳ සේවා ප්‍රිමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට හේලීස් සමූහ ‘ඒ’ කණ්ඩායම සමත් විය. සී.ඩී.බී. ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 63 ක ජයක් වාර්තා කරමින් හේලීස් ක්‍රීඩකයෝ අවසන් තරගයට පිවිසියහ. 

ජයග්‍රහණයේ වීරයා බවට පත්වූ හේලීස් කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 137 කදී හයේ පහර 11 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 153 ක් රැස්කළේය. මිනෝද් භානුක (50) සමග එක්ව 6 වැනි කඩුල්ල සඳහා පන්දු 89 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රමේෂ්, ඉන් නොනැවතී කවිෂ්ක අංජුල (5) සමග එක්ව 8 වැනි කඩුල්ල සඳහා පන්දු 26 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

පන්දු 44 කදී වාර්තා වූ මිනෝද්ගේ අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත වූ අතර මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී ආරම්භක පිතිකරු නිෂාන් මධුෂ්ක පන්දු 25 කින් ලකුණු 25 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි. සී.ඩී.බී. කණ්ඩායම වෙනුවෙන් තරිඳු රත්නායක ලකුණු 36 කට කඩුලු 3 ක් බිඳහෙළුෑ අතර ප්‍රමෝද් මධුෂාන් කඩුලු 2 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 57 ක් ලබා දෙමිනි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 282 ක ඉලක්කයක් හඹාගිය සී.ඩී.බී. ‘ඒ’ කණ්ඩායමට ඕවර 41.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 219 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවිෂ්ක අංජුල ඕවර 8 ක් යවමින් ලකුණු 28 කට කඩුලු 4 ක් දවාගත් අතර සී.ඩී.බී. කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඉනුක කරන්නොගොඩ සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවාගත්හ. 

සී.ඩී.බී. කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ළහිරු උදාර (31) සහ අවිෂ්ක ප්‍රනාන්දු (43) සමත් වුවද, ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කළ ප්‍රභාත් ජයසූරිය හේලීස් කණ්ඩායම යළිත් තරගයට අවතීර්ණ කළේය. ඉන් අනතුරුව පන්දුව අතට ගත් කවිෂ්ක අංජුල සී.ඩී.බී. පිතිකරුවන් අසරණ කළේ නායක ළහිරු මධුෂංකද එක් ලකුණකට සීමා කරමිනි. 

හේලීස් සමූහ ‘ඒ’ පිල - ඕවර 50 කඩුලු 8 ක් දැවී 282 
(නිෂාන් මධුෂ්ක 25, රමේෂ් මෙන්ඩිස් නොදැවී 153, මිනෝද් භානුක 50, ළහිරු සමරකෝන් 19, තරිඳු රත්නායක 36/3, ප්‍රමෝද් මධුෂාන් 59/2) 

සී.ඩී.බී. ‘ඒ’ පිල - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 219 
(ළහිරු උදාර 31, අවිෂ්ක ප්‍රනාන්දු 43, නිපුන් ධනංජය 30, පවන් රත්නායක 40, මොවින් සුබසිංහ 24, තරිඳු රත්නායක 18, කවිෂ්ක අංජුල 28/4, ඉනුක කරන්නාගොඩ 43/2, ප්‍රභාත් ජයසූරිය 49/2) 

 


අදහස් (1)

රමේෂ්ගේ පිතිහරඹයෙන් හේලීස් පිල අවසන් සටනට
  • Asintha Monday, 29 September 2025 10:10 AM

    ලංකාවේ පළමු පෙළ ක්‍රිකට්වල ප්‍රමිතිය හිතාගන්න පුළුවන්.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.