
(දමින්ද විජේසූරිය)
තමන්ගේ මූලික වගකීම කඩුලු රැකීම වූවත් අවශ්‍යම අවස්ථාවේදී පිතිකරුවකු ලෙසින් ඉදිරිපත් වූ වමත් පිතිකරු ප්‍රවීන් රන්හිරු, ඉනිම දෙකේදීම ලබාගත් අර්ධ ශතක නිසා කොළඹ පී, සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති 14 වැනි ස්වර්ණ සිංහ සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් විය.
මුල් ඉනිමේදී ලකුණු 188 ක් පසුපසින් සිටීම නිසා පිට පිටම දෙවැනි වතාවටත් පිටියට යාමට සිදුවූ ධර්මපාල පිතිකරුවෝ තරගය අවසන් වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 94 ක් ලබා සිටියහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් රාහුල කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 345 ක් ලබාගත්තේය.
මුල් ඉනිමේදී ලකුණු 157 කට දැවී ගිය ධර්මපාලය වෙනුවෙන් ලකුණු 67 ක් ලබාගත් ප්‍රවීන් රන්හිරු දෙවැනි ඉනිමේදීත් ලකුණු 57 ක් ලබාගත්තේ ඉනිම දෙකේදීම තම කණඩායම ගලවාගත් වීරයා වෙමිනි.
ධර්මපාල දෙවැනි ඉනිමේදීත් ලකුණු 27 කට කඩුලු 4 ක් බිඳ වැටීමෙන් තරගයේ දෙවැනි දිනය වූ අද (සෙනසුරාදා) මාතර රාහුල ක්‍රීඩකයෝ ජයග්‍රහණයේ සුවඳ ආඝ්‍රාණය කරමින් සිටියහ. එහෙත් අංක 6 පිතිකරුවා ලෙසින් පැමිණි ප්‍රවීන්, අංක 3 පිතිකරුවා වූ තිමත් තේනුජ සමගින් එක්ව මුලු ලකුණු සංඛ්‍යාව 94 ක් දක්වා ඉදිරියට ගෙන ගියේය. ප්‍රවීන් සහ තිමත් අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 67 ක් වූවත් ඒ වෙනුවෙන් තිමත්ගේ දායකත්වය ලකුණු 05 ක් පමණි. ප්‍රවීන් ලකුණු 57 ක් ලබාගත් අතර ඉතිරිය අතිරේක ලකුණු විය.
තරගයේ පළමු දින ක්‍රීඩාව නතර කරන විටත් ධර්මපාල කණ්ඩායම ලකුණු 47 කට කඩුලු 5 ක් අහිමි කරගෙන සිටියේය. පළමු ඉනිමේදී පන්දු 152 කට මුහුණ දෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ද ඇතුළුව ලකුණු 67 ක් ලබාගත් රන්හිරු දෙවැනි ඉනිමේදීත් පන්දු 97 කට මුහුණ දෙමින් හතරේ පහර 6 කින් සහ හයේ පහර 2 කින් තම ඉනිම සැරසීය.
වටින් පිටින් අඳුර ගලා එන තුරුම ප්‍රවීන් පිටියේ සිටියේය. ලකුණු 57 ක් ලබා ප්‍රවීන් දැවී ගියත් ඉතිරි කඩුලු 5 දවාගැනීමට කල්වේලා මඳ වූ බැවින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කෙරිණ.
මාතර රාහුල විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 7 ට 345 යි
(පවර පබසර 22, සසිනු බැට්ටගේ 48, ආයු කමරුා 35, සදෙව් රිද්මක 114, ප්‍රමුදිත නවාංජන 40, මිනුග ලක්විදු නොදැවී 70, අනුහස් මිහිරාන් 36/2, නිසලිත සන්දිව් 99/2)
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය - පළමු ඉනිම 157 යි
(යොමාල් ඩැනියෙල් 15, නිසලිත සංදිව් 22, ප්‍රවීන් රන්හිරු 67, රමිරු මන්දීප 36, උචිත කෙවින් 54/6, සදෙව් රිද්මික 34/2)
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 5 ට 94 යි
(ප්‍රවීන් රන්හිරු 57, සදෙව් රිද්මික 30/2)



(ඡායාරූප - සුමුදු හේවාපතිරණ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.