Last Update  :  2025-08-15 10:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොවුන් ලෝක කුසලාන අවසන් තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි

යොවුන් ලෝක කුසලාන අවසන් තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි

editorial - 2020 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය යොවුන් පිල ඊයේ (4 වැනිදා) සමත්විය. ප්‍රෝචෙස්ට්රූම්හිදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන යොවුන් පිල කඩුලු 10 කින් පරාජය කිරීමට ඉන්දීය යොවුන් පිල සමත්විය.

මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියත් සමගින් ලෝක කුසලාන තරගාවලි 13 කට සහභාගිවී ඇති ඉන්දීය කණ්ඩායම ඉන් තරගාවලි 7 කදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගෙන ඇත. පසුගිය යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ශූරයන්වූ ඉන්දීය යොවුන් කණ්ඩායම තරගාවලි 4 කදී ලෝක ශූරයන් බවට පත්වී ඇත.

බංග්ලාදේශ යොවුන් පිල සහ නවසීලන්ත යොවුන් පිල අතර හෙට (6 වැනිදා) පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් මහ තරගයේදී ඉන්දීය යොවුන් කණ්ඩායම හමුවීමට නියමිතව ඇත. අවසන් මහ තරගය මේ මස 9 වැනිදා ප්‍රෝචෙස්ට්රූම්හිදී පැවැත්වේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය යොවුන් පිල ඕවර 35.2 කදී කිසිවකු නොදැවී පහසුවෙන් ඉලක්කය පසුකිරීමට සමත්විය.

ආරම්භක පිතිකරුවන්වූ යෂස්වී ජයිස්වාල් ශතකයක් ලබාගත් අතර දිව්යාන්ෂ් සක්සේනා අර්ධ ශතකයක් ලබාගනිමින් ඉන්දීය යොවුන් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
 යෂස්වී ජයිස්වාල් පන්දු 113 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 105 ක් ලබාගත් අතර දිව්යාන්ෂ් සක්සේනා පන්දු 99 කදී හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 59 ක් ලබාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන යොවුන් පිලට ඕවර 43.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 172 ක් පමණි.

ආරම්භක පිතිකරු හයිඩර් අලී සහ නායක රොහෙයිල් නසීර් අර්ධ ශතක ලබාගනිමින් පාකිස්තාන යොවුන් පිලේ ලකුණු මට්ටම ඉහළ දැමීමට උත්සහ කළද සෙසු පිතිකරුවෝ අසාර්ථක වීම හේතුවෙන් ලකුණු 170 සීමාවේ රැඳීමට ඔවුන්ට සිදුවූහ.

හයිඩර් අලී පන්දු 77 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 56 ක් ලබාගත් අතර රොහෙයිල් නසීර් පන්දු 102 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 62 ක් රැස්කිරීමට සමත්විය. මොහොමඞ් හැරිස් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 21 ක් ලබාගත්තද සෙසු පිතිකරුවන් 8 දෙනාට ලකුණු 10 සීමාව පසුකිරීමට ඉන්දීය යොවුන් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.

සුෂාන්ත් මිෂ්රා ලකුණු 28 කට කඩුලු 3 ක් ද කාර්තික් ත්‍යාගී සහ රවී බිෂ්නෝයී කඩුලු 2 බැගින් දවාගනිමින් පාකිස්තාන පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ.


පාකිස්තාන යොවුන් පිල - ඕවර 43.1 කදී සියලුදෙනා දැවී 172
(හයිඩර් අලී 56, රොහෙයිල් නසීර් 62, මොහොමඞ් හැරිස් 21, සුෂාන්ත් මිෂ්රා 28/3, කාර්තික් ත්‍යාගී 32/2, රවී බිෂ්නෝයී 46/2)

ඉන්දීය යොවුන් පිල - ඕවර 35.2 කදී කිසිවකු නොදැවී 176
(යෂස්වී ජයිස්වාල් නොදැවී 105, දිව්යාන්ෂ් සක්සේනා නොදැවී 59)

...


අදහස් (0)

යොවුන් ලෝක කුසලාන අවසන් තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.