Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යහතින් ජීවත් වීමට ක්‍රිකට් වෘත්තිකයා දැනගත යුතුයි

යහතින් ජීවත් වීමට ක්‍රිකට් වෘත්තිකයා දැනගත යුතුයි

editorial - 2020 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 

 
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි කටයුතු පිළිබඳව ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්හි නායක දිමුත් කරුණාරත්න සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශය විසින් සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය වෙත පෙරෙදා (10 වැනිදා) නිකුත් කෙරිණ.

කෙරෝනා වයිරසයේ බලපෑමට හසුව මුළු මහත් ක්‍රීඩා ලෝකයම එකතැන නතර වී තිබුණද වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයා තමන්ගේ භූමිකාව කුමක්ද යන්න මැනවින් හඳුනා ගනිමින් ජීවිතය මෙන්ම වෘත්තියද හසුරුවාගත යුතු බව දිමුත් කරුණාරත්න කියයි.

“ඔබ ක්‍රීඩාවේ සහ විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ මේ මට්ටමට ළඟා වන විට වෘත්තිකයා කියන වචනයේ සැබෑ අර්ථය ඔබ හඳුනාගෙන තිබිය යුතුයි. එමනිසා හොඳ කාලවලදී මෙන්ම දුෂ්කර කාලවලදීත් හොඳින් ජීවත් වීමට ඉගෙන ගත යුතුයි. නමුත් මගේ දැක්මේ හැටියට කොවිඞ් - 19 කියන්නේ ලෝකයේ බොහෝ දේවල් වෙනස් කරවන දෙයක්. ඒක ක්‍රීඩාවත් වෙනස් කරාවි. මේ වෙනස් වීම තරමක් දැඩි විය හැකි වුවත් කාලයක් යද්දී ඒක සාමාන්‍ය දෙයක් වේවි” යයි මෙම පිළිසඳරට එක්වෙමින් දිමුත් කරුණාරත්න පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නියෝජිතයා සහ දිමුත් කරුණාරත්න අතර පැවැති සංවාදය මෙසේ පෙළ ගැස්වෙයි.

ප්‍රශ්නය: මිනිසුන්ගේ ජීවිත හදිසියේම නතර වෙලා. මුළු ලෝකයටම බලපාන කෝවිඞ් - 19 වයිරසය පිළිබඳ ඔබේ අදහස් කුමක්ද?
 
පිළිතුර:
එය වසංගතයක්!
ජීවිතය කියන්නේ ඔබ කිසි විටෙක අනාවැකි කීමට නොදන්නා දෙයක්. ඒක අර්ථයෙන් ක්‍රීඩාවට සමානයි. මගේ දර්ශනය වෙන්නේ මේකයි. ඔබට පාලනය කළ හැකි දේ පමණක් පාලනය කරන්න. අනෙක් අය ඔවුන් පාලනය කළ යුතු දේ කරයි.
 
 
ප්‍රශ්නය: වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස, දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රීඩාවෙන් බැහැරව සිටීම කොතරම් දුෂ්කරද? විශේෂයෙන් ක්‍රීඩාව නැවත ආරම්භ වන්නේ කවදාද යන්න ඔබ නොදන්නා විට?

පිළිතුර:
ඔබ ක්‍රීඩාවේ සහ විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ මේ මට්ටමට ළඟා වන විට වෘත්තිකයා කියන
වචනයේ සැබෑ අර්ථය ඔබ හඳුනාගෙන තිබිය යුතුයි. එමනිසා හොඳ කාලවලදී මෙන්ම දුෂ්කර කාලවලදීත් හොඳින් ජීවත් වීමට ඉගෙන ගත යුතුයි. නමුත් මගේ දැක්මේ හැටියට කොවිඞ් - 19 කියන්නේ ලෝකයේ බොහෝ දේවල් වෙනස් කරවන දෙයක්. ඒක ක්‍රීඩාවත් වෙනස් කරාවි. මේ වෙනස් වීම තරමක් දැඩි විය හැකි වුවත් කාලයක් යද්දී ඒක සාමාන්‍ය දෙයක් වේවි.
 
 
ප්‍රශ්නය: අපි බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලංකාවේදී එක්දින තරගාවලියක් (3 - 0) ජයගත් වහාම ක්‍රීඩාව නතර කරන්න සිද්ධ වුනා. සැලසුම් කිරීම, භූමිකාව පැහැදිලි කිරීම සහ විශ්වාසය, යන දේ සඳහා පුහුණුකරු මිකී ආතර් මහතාට එහි සියලු ගෞරව හිමිවුනා. ඒ පිළිබඳ ඔබේ සිතුවිලි මොනවාද?
 
පිළිතුර:
ඔව් !
මිකී ආතර් කියන්නේ ඔහුට වගේම ඔහුගේ කීර්තිනාමයට පිටුබලය දීමට අත්දැකීම් රාශියක් ඇති, විකාර වැඩ නැති, කලබලයකින් තොර පුද්ගලයෙක්. ජාත්‍යන්තර මට්ටමින් තරග සැලසුම් සකස් කිරීම සහ තරගයකදී ඒඑ  ක්‍රීඩකයාගේ භූමිකාව පැහැදිලි කිරීම සම්මතයක්. ඉතා වැදගත් දෙය නම් ඔහු අප අතර සියුම් ආකාරයෙන් ඇති කර ඇති විශ්වාසයයි. එය නිසැකවම උදව්වක් වුනා. ඒවායේ ප්‍රතිඵල පසුව දැකගන්න ලැබුණා.
 
 
ප්‍රශ්නය: එක්දින හා ටෙස්ට් නායකයා ඔබයි. මිකී සහ ඔහුගේ සගයන් කණ්ඩායම භාර ගන්නා විට සහ දැන් කණ්ඩායම යන ආකාරය පිළිබඳව ඔබ දකින්නේ කෙසේද?
 
පිළිතුර:
ඉතාම හොඳයි.
ක්‍රීඩකයන් වගේම සංචිතයේ ඉන්න අයත් ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව උපරිම අයුරින් විඳිනවා. ඒක විඳවනවා නෙමේ විඳිනවා. ඒ කියන්නේ ඉතාම සතුටින් ඒ කාර්යයයේ යෙදිල ඉන්න ගමන් එයින් විශාල වින්දනයක් ලබනවා.

එය ඔවුන්ගේ රැකියාව වඩාත් පහසු කරනවා. තම තමන් කරන දෙයට තම තමන් කැමති නම්, ඒ සඳහා සුදුසු පරිසරයක් තියේ නම් මෙ මට්ටමේදී ක්‍රීඩාව සමබරව පවත්වාගෙව යා හැකියි. මම හිතන්නේ එය ජීවිතය හෝ සමාගමක් කළමනාකරණය කිරීමට බෙහෙවින් සමානයි.
 
 
ප්‍රශ්නය: 2019 ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයට ඔබ නායකයා සහ පිතිකරුවෙකු ලෙස තේරී පත් වූ විට, කණ්ඩායමට නායකත්වය දෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටි විට, ඔබ එය කළමනාකරණය කළේ කොහොමද?
 
පිළිතුර:
ඒක ගැන කියන්න තියෙන්නේ එක වාක්‍යයක් පමණයි. මා එය සංකීර්ණ භාවයෙන් අඩු හා සරල ලෙස තබා ගත්තා.
 
 
ප්‍රශ්නය: එතෙක් කාලයක් ඔබ දීර්ඝ එක්දින තරග දිවියක් ක්‍රීඩා කිරීමට හිතාගෙන හිටියාද ?
 
පිළිතුර:
නියත වශයෙන්ම ඔව්. මේ දක්වා සෑම මට්ටමකම මගේ එක්දින සංඛ්‍යා ලේඛන දෙස බලන්න.
 
 
ප්‍රශ්නය: නායකයෙකු සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඔබගේ එක්දින තරග දිවියේ සැලසුම් මොනවාද ?
 
පිළිතුර:
ශේණිගත කිරීම්, ශේණිගත කිරීම් සහ ශේණිගත කිරීම් යන වචනය තමයි ප්‍රධාන වෙන්නේ.
මම කියන්නේ ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු හතර දෙනා අතර සිටිය යුතුයි. එය වක්‍රාකාරව කිවහොත් අවම වශයෙන් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන්නන්ට අවශ්‍ය වෙනවා. එතැන් සිට එය ඕනෑම අතකට යා හැකියි. එදා දවසේ හොඳින් ක්‍රීඩා කරන්න ඔබට පුළුවන් නම් ඔබට ලෝක ශූරයන් විය හැකියි.
 
 
ප්‍රශ්නය: ඔබේ නමට ඉදිරියෙන් ටෙස්ට් ශතක 9 ක් සටහන් වෙනවා. ටෙස්ට් ඉනිමකදී ඔබගේ සාමාන්‍යය 36.78 ක් ලෙස රඳවා ගෙන ඇති අතර, එම සංඛ්‍යාලේඛන වැඩි දියුණු කිරීම ඔබේ ඉලක්කය විය යුතුයි. ඔබේ තරග දිවිය නිමා වීමට පෙර ඔබේ ඉලක්කය කුමක්ද?
 
පිළිතුර:
ටෙස්ට් තරග 66 කදී ශතක 9 ක් මට තිබෙනවා. බොහෝ දෙනෙක් තර්ක කරන්නේ මා ලබාගත් අර්ධ ශතක 24 න් සමහරක් ශතක බවට පරිවර්තනය කළ හැකිව තිබූ බවයි. කෙසේ වෙතත්, මම සෑම තරගයකින්ම ඉගෙන ගන්නවා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවේ උත්තරීතර අංශය වන අතර එය නිසැකවම අසීරු අභියෝගයක්ද වෙනවා. ටෙස්ට් ශතක 25 ක් සහ ඉනිමක සාමාන්‍යය 50.00 ට වැඩියෙන් තියා ගන්න තමා මගේ ඉලක්කය වෙන්නේ.
 
 
ප්‍රශ්නය: මේ දක්වා ඔබගේ වෘත්තීය ක්‍රිකට් ජීවිතයේ අනුස්මරණීය අවස්ථා කිහිපයක් ඔබට මතකද?
 
පිළිතුර:
මගේ පළමු ටෙස්ට් තරගය සහ මගේ පළමු ටෙස්ට් ශතකය මෙන්ම 2019 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ලද එක්දින ජයග්‍රහණය අමතක කළ හැක්කේ කාටද? මගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකාවේ පැවති ටෙස්ට් තරගමාලාවේ ජයග්‍රහණයත් සැලකිය යුතු අනුස්මරණීය සිදුවීමක් වෙනවා.
 
පරිවර්තනය : රොෂාන් ගුණරත්න

 

 


අදහස් (0)

යහතින් ජීවත් වීමට ක්‍රිකට් වෘත්තිකයා දැනගත යුතුයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.