Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මිලර් - තෙවාටියා ගුජරාටය දිනවති
අයි.පී.එල්.- 2022

මිලර් - තෙවාටියා ගුජරාටය දිනවති

editorial - 2022 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සිය පිතිහරඹ රටාවේ සුවිශේෂී පහර කිහිපයක්ම ප්‍රදර්ශනය කරමින් විරාට් කෝලි නැවතත් ලකුණු අතරට පැමිණියද රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව අද (30 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයේදී ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයෝ කඩුලු 6  පහසු ජයක් ලබාගත්හ. ලකුණු 171 ක ඉලක්කයක් කරා ගිය ගුජරාට් පිතිකරුවෝ පන්දු 3 ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය සපුරා ගනිමින් තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ රැකගත්හ.

ගුජරාට් ඉනිමේ 10 වැනි ඕවරය අවසන් වන විට පුවරුවේ තිබුණේ ලකුණු 77 ක් පමණි. ගුජරාට් ජයග්‍රණය සඳහා අවසන් පන්දු 60 දී ලකුණු 94 ක් අවශ්‍යව තිබිණ. පන්දු 37 කදී ලකුණු 79 ක් උදුරාගත් ඩේවිඩ් මිලර් (නොදැවී 39) සහ රාහුල් තෙවාටියා (නොදැවී 43) එක්ව ගුජරාට් පිල ජයග්‍රහණය දක්වා කැඳවාගෙන ගියහ.

දෙදෙනා හයේ පහර 3 කින් සහ හතරේ පහර 9 කින් බැංගලෝර් පන්දු යවන්නන්ට සංග්‍රහ කළේ ලකුණු ලබාගැනීමේ ප්‍රවේගය 150 ට ඉහළින් තබා ගනිමිනි.

 විරාට් කෝලි (58) සහ රජාත් පතිදාර් (52) ලබාගත් අර්ධ ශතක නිසා පළමුවෙන් පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 170 ක් ලබාගත්තේය. ඉන්දියාවේ මුම්බායි නුවර බ්‍රැබෝන් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙයි.

බැංගලෝර් නායක ෆෆ් ඩු ප්ලෙසි ලකුණු නොලබා දැවී යාමෙන් පසුව කණ්ඩායමේ බර කරට ගත් ඉන්දීය පිලේ හිටපු නායකයා පන්දු 45 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ රජාත් පතිදාර් සමගින් ලකුණු 99 ක සම්බන්ධතාවක් ද ගොඩනඟමිනි. ඉන්දීය පිලේ හිටපු නායකයා සමගින් උරෙනුර ගැටී පිතිහරඹයේ යෙදුණු පතිදාර්, පන්දු 32 කදී ලබාගත් ලකුණු 52 හතරේ පහර 5 කින් සහ හයේ පහර 2 කින් සමන්විත වූයේය.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ ඉනිම 7 කදී ලකුණු 128 ක් පමණක් ලබා සිටි විරාට් කෝලි 8 වැනි ඉනිමේදී සිය සාමාන්‍යය 18.28 සිට 23.25 දක්වා ඉහළ දමාගත්තේය. මෙවර තරගාවලියේ හරි අඩක් නිමාවී තිබුණද කෝලි ලබාගත් පළමු වැනි අර්ධ ශතකය මෙයයි. එය ඔහුගේ 43 වැනි අයි.පී.එල්. අර්ධ ශතකයද විය.

කෝලිගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි ග්ලෙන් මැක්ස්වෙල්, හයේ පහර දෙකක්ද සිය ඉනිමට ඇතුළත් කරමින්, පන්දු 18 කදී ලකුණු 33 ක් ලබාගත්තේ තවත් මාසයකට පසුව ශ්‍රී ලංකාවේදී තමන් පන්දුවට පහර දෙන්නේ මෙන්න මේ වගේ යයි ඉඟි කරමිනි.

මොහොමඩ් ෂාමි, ප්‍රදීප් සංග්වන් සහ කොදෙව් ක්‍රීඩක අල්සාරි ජෝෂප් හමුවේ සිය සුපුරුදු පහර මුදාහළ කෝලි ලකුණු ලබාගැනීම ආරම්භ කළේ මොහොමඩ් සාමි හමුවේ ගැසූ හතරේ පහර දෙකකිනි. පන්දු 53 කට පසුව දැවී යන විට කෝලිගේ ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහරකින් සමන්විත විය.


රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 170 යි
(විරාට් කෝලි 58, රජාත් පතිදාර් 52, ග්ලෙන් මැක්ස්වෙල් 33, ප්‍රදීප් සංග්වන් 19/2)

ගුජරාට් ටයිටන්ස් - ඕවර 19.3 කදී කඩුලු 4 ක් දැවී 174 යි
(රිදිමන් සහා 29, ශුබ්මන් ගිල් 31, සායි සුදර්ශන් 20, ඩේවිඩ් මිලර් නොදැවී 39, රාහුල් තෙවාටියා නොදැවී 43, වනිඳු හසරංග 28/2, ශබාස් අහමඩ් 26/2)

 

- 213


අදහස් (0)

මිලර් - තෙවාටියා ගුජරාටය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.