Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාෂ්ට මාස 2ක් ජෛව බුබුලේ ඉන්න බැරිලු

මාෂ්ට මාස 2ක් ජෛව බුබුලේ ඉන්න බැරිලු

editorial - 2021 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් සිය පෞද්ගලික හේතු මත මේ වසරේ (2021) ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇත. ඒ සම්බන්ධයෙන් මාෂ් වැඩි දුරටත් පවසා ඇත්තේ සති 8 ක් තරම් දිගු කාලයක් ජෛව ආරක්ෂක බුබුලක් තුළ රැදී සිටීමට තමන් අකමැති බවයි.

අප්‍රේල් මස 9 වැනිදා ආරම්භ වීමට නියමිත මෙවර අයි.පී.එල්. තරගාවලියට සහභාගිවන සියලුම දෙස් විදෙස් ක්‍රීඩකයන් ඊට සතියකට පෙර මුම්බායිහිදී සහ චෙන්නායිහිදී දින 7 ක නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතුය. තරගාවලිය අප්‍රේල් 9 වැනිදා ආරම්භ වන අතර එය මැයි මස 30 වැනිදා දක්වා පැවැත්වේ.

ඉකුත් වසරේ (2020) පැවැති අයි.පී.එල්. තරගාවලියේ පළමු තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් මාෂ්ට එවර තරගාවලියේ සෙසු තරගවලට සහභාගි වීමේ අවස්ථාව අහිමිවිය. රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමට එරෙහිව පැවැති එම තරගයේදී වලලුකර ආබාධයකට ලක්වන විට මාෂ් යවා තිබුණේ පන්දු 4 ක් පමණි.

ඉන්දීය රුපියල් කෝටි 2 ක මුදලකට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ හිමිකරුවන් විසින් මාෂ් මිලදී ගනු ලැබ තිබිණ. එහෙත් මේ වතාවේදීත් මාෂ් තරගාවලියට එක් නොවන බැවින් ඔහුගේ හිදැස පිරවීම සඳහා එංගලන්ත කණ්ඩායමේ ජේසන් රෝයි කණ්ඩායමට කැඳවනු ලැබ තිබේ. මින් පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ රෝයි ඉකුත් වසරේදී සිය පෞද්ගලික හේතුවක් මත තරගාවලියට සහභාගී නොවීය.

ඉකුත් පෙබරවාරි මස පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී රෝයි අලෙවි නොවූ ක්‍රීඩකයන් ගොන්නට එක්ව සිටි අතර හයිද්‍රාබාද් සංචිතයට එක්වීම සඳහා ඔහුට ඉන්දීය රුපියල් කෝටි 2 ක මුදලක් ගෙවීමට කණ්ඩායමේ හිමිකරුවන් එකඟ වී ඇත. මේ දක්වා අයි.පී.එල්. තරග 8 කට ක්‍රීඩා කර ඇති රෝයි, එහිදී ලකුණු 179 ක් රැස්කර ඇති අතර 29 කට වැඩි සාමාන්‍යයක් රඳවාගැනීමටද සමත් වී ඇත. අයි.පී.එල්. තරගවලදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ වේගය 133.58 ක අගයක් ගනී.

ආබාධ තත්වය හේතුවෙන් මාෂ්ට ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාව අතර ඕස්ටේ්‍රලියාවේදී පැවැති එක්දින සහ විස්සයි20 තරගාවලිවලට සහභාගි වීමේ අවස්ථාවද අහිමි විය. 2010 වසරේදී පළමු වරට අයි.පී.එල්. තරගාවලිය සමග එක්වූ මාෂ්, මේ දක්වා අයි.පී.එල්. තරග 21 කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ලකුණු 225 ක් රැස්කරමින් කඩුලු 20 ක් දවාගැනීමටද සමත් වී ඇත.

2016 වසරේ අයි.පී.එල්. ශූරයන් වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම, දෙවරක් අයි.පී.එල්. ශූරයන් වී ඇති කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මස 11 වැනිදා චෙන්නායිහි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී මෙවර තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.


-036

 


අදහස් (0)

මාෂ්ට මාස 2ක් ජෛව බුබුලේ ඉන්න බැරිලු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.