Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාක්රම් - මිලර් දකුණු අප්‍රිකාව දිනවති

මාක්රම් - මිලර් දකුණු අප්‍රිකාව දිනවති

editorial - 2021 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


(දමින්ද විජේසූරිය)

සිය ප්‍රහාරාත්මක පිතිකරුවන්ගේ ශක්තිය මොනවට විදහා පෑ දකුණු අප්‍රිකානුවෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති පළමු විස්සයි-20 තරගයේදී ලකුණු 28 ක පහසු ජයක් අත්කර ගත්හ. දකුණු අප්‍රිකානු පිලේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 65 ක් එක්කළ ඒඞ්න් මාක්රම් සහ ඬේවිඞ් මිලර් දෙදෙනාගේ වෑයම හේතුවෙන් ඔව්හු අවසන් ඕවර 7 දී ලකුණු 76 ක් උදුරාගත්හ.

13 වැනි ඕවර අවසානයේදී ලකුණු 87 ක් පමණක් ලබා සිටි දකුණු අප්‍රිකානුවෝ ඕවර 20 නිමා කළේ ලකුණු 163 ක් පුවරුවට එකතු කරමිනි. ලකුණු 164 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් හුදෙකළා සටනක නිරත වූ නමුත් වෙනත් කිසිම පිතිකරුවකුට සාර්ථක වීමට අවසර නොදුන් දකුණු අප්‍රිකානුවෝ ලකුණු 30 කට පමණ වතාවක් කඩුල්ලක් හෝ දෙකක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම අස්ථාවර කළහ.

නියමිත ඕවර 20 අවසානයේදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 135 න් නතර වන විට එම ඕවර 20 ම පිටියේ සිටි දිනේෂ් චන්දිමාල් පන්දු 54 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 66 ක් ලබා සිටියේය. චන්දිමාල්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් අලංකාර වී තිබිණ.

ශ්‍රී ලංකා ඉනිම පුරාම තිබුණේ හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් පමණි. ඒවායින් හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් චන්දිමාල්ගේ පිත්තෙන් නික්මුණු ඒවා වූ අතර ඉතිරි හයේ පහර දෙක සහ හතරේ පහර චාමික කරුණාරත්නගේ නමට ඉදිරියෙන් සටහන් වී තිබිණ. එක්දින තරගාවලියේ තරග දෙකකදීම ලකුණු නොලබා (පන්දු 6 යි) දැවී ගිය භානුක රාජපක්‍ෂ අදත් මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවී ගියේය. ඔහුගේ අවසන් අන්තර්ජාතික තරග 3 දී පන්දු 7 කට මුහුණ දෙමින් තුන්වරක්ම ලකුණු නොලබා දැවී ගොස් තිබේ.

පන්දු 33 කට මුහුණ දුන් මාක්රම්, හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 48 ක් ලබාගත්තේ සිය සහායක පිතිකරුවා වූ ඬේවිඞ් මිලර්වත් උනන්දු කරමිනි. විස්සයි-20 තරගාවලියේදී දකුණු අප්‍රිකානු පිල ශක්තිමත් කිරීමට එක්වූ මිලර්, මාක්රම්ට කදිම සහයෝගයක් දෙමින් පන්දු 15 කදී ලකුණු 26 ක් ලබාගත්තේය.

ආරම්භයේ සිටම ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට වැරෙන් පහරදීමට උත්සාහ කළ දකුණු අප්‍රිකානුවෝ මහීෂ් තීක්‍ෂණ දුටුතැන පහරදීමේ උපක්‍රමයක් අනුගමනය කළහ. සිය මංගල එක්දින තරගයේදී කඩුලු 4 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානුවන් අමාරුවේ දැමූ මහීෂ් තීක්‍ෂණ හමුවේ අද තරගයේදී දකුණු අප්‍රිකානුවෝ ඕවර 4 කින් ලකුණු 35 ක් උදුරා ගත්හ.

දකුණු අප්‍රිකානු ඉනිමේ සාර්ථකත්වය ප්‍රහාරාත්මක ඕවර 6 දී ක්වින්ටින් ඩි’කොක් සහ රීසා හෙන්රික්ස් එක්ව ලබාගත් ආරම්භයයි. පළමු ඕවර 6 දී ලකුණු 47 ක් ලබාගත් ඩි’කොක් සහ හෙන්රික්ස් ඕවර 10 කදී ලකුණු 73 ක් සිය පිලට ගෙනැවිත් දුන්හ. එතැන් සිට සංචාරකයන්ගේ ගමන පහසු විය.

- 213


අදහස් (1)

මාක්රම් - මිලර් දකුණු අප්‍රිකාව දිනවති
  • Sk Saturday, 11 September 2021 07:30 AM

    චන්දිමාල්ට අවස්ථාව නොදෙන්නේ ඇයි කියලයි ප්‍රශ්නය.. ?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.