Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද සාජා නුවර සිට..)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය ලෙස පාකිස්තානය සහ නවසීලන්තය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ ‘බී’ කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩකයෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.
පාකිස්තාන කණ්ඩායමේ අත්දැකීම් බහුළම ක්‍රීඩකයා වන ෂොයිබ් මලික් පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 26 ක් රැස්කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. අසීෆ් අලී (නොදැවී 27) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 48 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් මලික් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 12 කට මුහුණදුන් අලීගේ වේගවත් ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය.
සිය 100 වැනි විස්සයි-20 කඩුල්ල ලෙස නායක බාබර් අසාම් ලකුණු 9 කට දවාගැනීමට ටිම් සවුති සමත් වුවද, ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් තරමක් ප්‍රවේශම් සහගතව පන්දුවට පහරදෙමින් පන්දු 34 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 33 ක් රැස්කළේය. ෆකාර් සමාන් සහ මොහොමඩ් හෆීස් ලකුණු 11 බැගින් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට ඉෂ් සෝධි සහ මිචෙල් සෑන්ට්නර් සමත් වූහ.
කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 134 ක් ලබා ගත්තේය. නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වූ ඩර්ලි මිචෙල් පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 27 ක්ද, ඩෙවොන් කොන්වේ පන්දු 24 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක්ද ලකුණු රැස්කළහ.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ හාරිස් රවුෆ් සිය ඕවර 4 ලකුණු 22 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත්තේය. මොහොමඩ් හෆීස්, ශහීන් අෆ්රිඩි සහ ඉමාඩ් වසීම් කඩුල්ල බැගින් දවාගනිමින් නවසීලන්ත පිතිකරුවන් අසරණ කිරීම සඳහා රවුෆ්ට අනගි සහයක් දුන්හ. මාටින් ගප්ටිල් (17) සහ ඩර්ලි මිචෙල් අතර පැවැති පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 36 කට සීමා කරමින් රවුෆ් සිය දඩයම ඇරඹුවේය.
ඉන් අනතුරුව 17 වැනි ඕවරයේ පළමු සහ තෙවැනි පන්දුවලදී ඩෙවෝන් කෝන්වේ සහ ග්ලේන් පිලිප්ස් (13) පිටියෙන් ඉවත් කළ රවුෆ්, නවසීලන්ත කණ්ඩායමේ මැද පෙළ අඩ පණ කළේය. එතැනින් නොනැවතුන ඔහු, ඉනිමේ අවසන් පන්දුවේදී මිචෙල් සෑන්ට්නර්ගේ (6) කඩුල්ලද බිඳ දැමුවේය. නායක කේන් විලියම්සන් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක් ලබා සිටියදී හසන් අලීගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යෑමකට හසුවිය.
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 134
(මාටින් ගප්ටිල් 17, ඩර්ලි මිචෙල් 27, කේන් විලියම්සන් 25, ඩෙවෝන් කොන්වේ 27, ග්ලේන් පිලිප්ස් 13, හාරිස් රවුෆ් 22/2)
පාකිස්තානය - ඕවර 18.4 කදී කඩුලු 5 ක් දැවී 135
(මොහොමඩ් රිස්වාන් 33, ෂොයිබ් මලික් නොදැවී 26, අසීෆ් අලී නොදැවී 27, ඉෂ් සෝධි 28/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.