Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මතීෂගේ පන්දු යැවීම චෙන්නායි පිල දිනවයි

මතීෂගේ පන්දු යැවීම චෙන්නායි පිල දිනවයි

editorial - 2024 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 29 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ (14 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. මෙය මෙවර තරගාවලියේදී චෙන්නායි කණ්ඩායම ලැබූ සිවුවැනි ජය මෙන්ම මුම්බායි කණ්ඩායම ලැබූ සිවුවැනි පරාජයද විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 207 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි කණ්ඩායමට මතීෂ පතිරණ ප්‍රමුඛ චෙන්නායි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 186 ක් පමණි. අයි.පී.එල්. තරගයකදී සිය හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ මතීෂ ලකුණු 28 කට කඩුලු 4 ක් බිඳහෙළමින් තරගයේ වීරයා බවට පත් වූ අතර නැවත වරක් අයි.පී.එල්. ඉතිහාසයේ කඩුලු 4 ක් දවාගත් ලාබාලම ක්‍රීඩකයා බවටද පත් විය.  

ඕවර 7 ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 70 ක් ලබා ප්‍රබල තත්වයක පසුවූ මුම්බායි කණ්ඩායම 8 වැනි ඕවරය අවසානයේ ලකුණු 75 කට කඩුලු 2 ක් බවට පත්කිරීමට මතීෂ සමත් වූයේ එහිදී ඉෂාන් කිෂන් ලකුණු 23 කටත්, සූර්යකුමාර් යාදව් ලකුණු ලබාගැනීමට පෙරාතුවත් පිටියෙන් ඉවත් කරමිනි. ඉන් නොනැවතුණු ඔහු, තිලක් වර්මා සහ රොමාරියෝ ශෙපර්ඩ්ද දවාගනිමින් මුම්බායි කණ්ඩායම මෙල්ල කළේය. 

මුම්බායි ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටිමින් වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා (නොදැවී 105) පන්දු 63 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් සමගින් සිය දෙවැනි අයි.පී.එල්. ශතකය ලබාගත්තේය. කෙසේ වුවත් මතීෂගේ පන්දු යැවීම හමුවේ සෙසු පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් ශර්මාට මුම්බායි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 206 ක් ලබාගත් අතර එහිදී නායක රුතුරාජ් ගයික්වාඩ් (69) සහ ශිවම් ඩූබේ (නොදැවී 66) අර්ධ ශතක ලබාගත්හ. පන්දු 40 කදී වාර්තා වූ ගයික්වාඩ්ගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 38 කට මුහුණදුන් ඩුබේ හයේ පහර 2 කින් සහ හතරේ පහර 10 කින් සිට ඉනිම සැරසුවේය. 

ඉනිමේ අවසන් පන්දු 4 ට මුහුණදීම සඳහා පිටියට පිවිසි මහේන්ද්‍ර සිං දෝනි, එහිදී හර්දීක් පාණ්ඩ්‍යාට එළව එළවා පහර දෙමින් පිට පිටම එල්ල කරන ලද හයේ පහර 3 ක්ද සමග නොදැවී ලකුණු 20 ක් රැස්කරමින් චෙන්නායි කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. 

චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 206 
(රචින් රවින්ද්‍ර 21, රුතුරාජ් ගයික්වාඩ් 69, ශිවම් ඩූබේ නොදැවී 66, ඩැරිල් මිචෙල් 17, මහනේද්‍ර සිං දෝනි නොදැවී 20, හර්දීක් පාණ්ඩ්‍යා 43/2)

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 186 
(රෝහිත් ශර්මා නොදැවී 105, ඉෂාන් කිෂන් 23, තිලක් වර්මා 31, මතීෂ පතිරණ 28/4)

-036


අදහස් (0)

මතීෂගේ පන්දු යැවීම චෙන්නායි පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.