Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මතීෂ දඹුල්ලම මවිත කරයි
විස්සයි-20 තරගාවලිය

මතීෂ දඹුල්ලම මවිත කරයි

editorial - 2024 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට..)

ඇෆ්ඝනිස්ථානය වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක යෙදුණු ඊබ්‍රහිම් සද්රාන් (නොදැවී 67) ඉනිම සම්පූර්ණයෙන්ම බල රහිත කළ මතීෂ පතිරණ (24/4) සිය දෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 04 ක තියුණු ජයක් කරා කැඳවාගෙන ගියේය. ඇෆ්ඝනිස්ථානු ජයග්‍රහණය සඳහා අවසන් ඕවර දෙකේදී පන්දු 12 කින් ලකුණු 14 ක් අවශ්‍යව තිබුණ නමුත් ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 10 කි.  

දඹුල්ලේදී පැවැති මුල්ම විස්සයි-20 තරගය නැරඹීමට, ක්‍රීඩාංගණයම ඉතිරී ඉහිරී යන්නට තරම් පැමිණ සිටි ක්‍රීඩාලෝලීන් මවිත කළ මතීෂගේ පන්දු දෙකක්, 19 වැනි ඕවරයේදී දෙවතාවක්ම කඩුල්ලට කඩාවැදුණේ ඇෆ්ඝනිස්ථානුවන් යමින් සිටි ජය මාවතෙන් ඉවතට ඔවුන් ඇද දමමිනි. පැයට කිලෝ මීටර 140 ඉක්මවූ එම පන්දු දෙකම නූර් අහමඞ් සහ නවීන් උල් හක් දෙදෙනාට සිතාගැනීමටවත් කාලයක් නොතබා කඩුල්ලට කඩා වැදුණේය. 

මාස 18 කට පසුව විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට සහභාගි වූ මතීෂ පතිරණ තරගය අවසන් කළේ ලකුණු 24 කට කඩුලු 4 ක් දවාගනිමිනි. මේ ඔහුගේ දෙවැනි විස්සයි-20 අන්තර්ජාතික තරගයයි. මෙම ජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම, විස්සයි-20 තරගාවලියේදීත් 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය. තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබේ. 

ඇෆ්ඝනිස්තානු ඉනිම ආරම්භයේදීම රමනුල්ලා ගුර්බාස් (13) දවාගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වූ නමුත්, ඒ වන විට පන්දු 17 කින් ලකුණු 25 ක් එක් කිරීමට ආරම්භක පිතිකරුවෝ දෙදෙනා සමත්ව සිටියහ. අනෙක් අන්තයෙන් පිතිකරුවන් දැවී යද්දීත්, ඕවර 20 ක් පුරා තම කඩුල්ල ආරක්‍ෂා කරගත් ඇෆ්ඝනිස්ථානු නායකයා, පන්දු 55 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 67 ක් ලබාගත් නමුත් අවසානයේදී පරාජිත කණ්ඩායමක ඉතිරි විය. 
ලකුණු 55 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබුණු අවස්ථාවක නායකයකු වශයෙන් පිතිහරඹයේ වගකීම බාරගත් වනිඳු හසරංග (67) කළ විශිෂ්ට පිතිහරඹය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 160 ක් ලබාගත්තේය. 15 වැනි ඕවරයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 5 කට ලකුණු 139 ක් ලබා සිටියත් අවසන් ඕවර 4 දී ඉතිරි කඩුලු සියල්ලම අහිමි කරගත් හෙයින් ඒ අතරතුර කාලයේදී ලබාගත හැකිවූයේ ලකුණු 21 ක් පමණි. 

මුලදී කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිමට සධීර සමරවික්‍රම (25) සහ වනිඳු හසරංග (67) දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක මුක්කුවක් ගැසූහ. එහෙත් සධීරගේ දැවී යාමෙන් පසුව ලකුණු 33 ක් ඇතුළත සියල්ලෝම දැවී ගියහ. 

පන්දු 32 කට මුහුණ දුන් ශ්‍රී ලංකා නායකයාගේ ඉනිමට චිත්තාකර්ශනීය හතරේ පහර 7 ක් මෙන්ම දැවැන්ත හයේ පහර 3 ක් ද ඇතුළත් විය. පන්දු යවන්නකුගේ භූමිකාව නිරූපනය කළද, අද දවසේ පිතිකරුවාගේ කාර්ය බාරගත් වනිඳු එහි වගකීම අකුරටම ඉටුකළේය. පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව වෙනුවෙන් සධීර සහ හසරංග දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 41 කට පමණි. 

තරගාවලියේ දෙවැනි තරගය සඳුදා (19 වැනිදා) දඹුල්ලේදීම පැවැත්වෙයි. 

 

 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

මතීෂ දඹුල්ලම මවිත කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.