Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මිතාලි රාජ් නිහඬතාව බිඳී

මිතාලි රාජ් නිහඬතාව බිඳී

රොෂාන් ගුණරත්න - 2018 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජේෂ්ඨ ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩිකා සහ එක්දින කණ්ඩායමේ නායිකා මිතාලී රාජ් විස්සයි20 කාන්තා ලෝක ශූරතා තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයෙන් ඉවත් කිරීම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදයක් ලෙසින් දිග්ගැසෙමින් යයි. මිතාලි රාජ් කණ්ඩායමෙන් ඉවත් කිරීමෙන් පසුව එංගලන්තය හමුවේ පැවැති ලෝක කුසලාන අවසන් පූර්ව තරගය කඩුලු 8 කින් පරාජය විය. 


තරගාවලියෙන් පසුව නිෂ්ශබ්දතාවය බිඳහෙළමින් මිතාලි රාජ් කණ්ඩායමේ නිලධාරිනියන්ට චෝදනා කරන්නීය. 


පාරිපාලක කමිටුවේ සාමාජිකා ඩයනා එදුල්ජි සහ පුහුණුකරු රමේෂ් පවාර් හට චෝදනා කරමින් “කිහිප දෙනෙක් එක්ව ඔවුන්ගේ බලය පාවිච්චි කරමින් මාව විනාශ කර දැමීමට උත්සහ කරනවා” යයි මිතාලි රාජ් පවසා තිබේ. 


“මාව කණ්ඩායමෙන් ඉවත්කිරීම පසුපස ඉන්නේ එදුල්ජි. ඇයගේ තනතුර මට විරුද්ධව පාවිච්චි කරනවා” යයිද මිතාලි රාජ් කියන්නීය. 


බටහිර ඉන්දීය කොදෙව්හි පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ පළමු තරගයේදී පන්දුවට පහරදීමට අවස්ථාවක් හිමිනොවූ 35 හැවිරිදි මිතාලී රාජ් ඉන්පසු පැවැති තරග දෙකේදී පිට පිට අර්ධ ශතක ලබාගැනීමට සමත්වූවාය. මූලික වටයේ අවසන් තරගයේදී අසනීප තත්වයක් හේතුවෙන් මිතාලී රාජ්ට ක්‍රීඩා කිරීමට නොහැකිවූ අතර එම තරගයට ක්‍රීඩාකළ කණ්ඩායමම අර්ධ අවසන් පූර්ව තරගයටද යොදා ගැනීම හේතුවෙන් ඇයට අවස්ථාව අහිමි විය.


“අවුරුදු 20 ක් විතර වන ක්‍රිකට් ජිවිතයේදී පළමු වතාවට මගේ ධෛර්යය බිඳ වැටුණා, මාව පහතට වැටුණා. ... සුළු පිරිසක් විසින් ඔවුන්ගේ බලය යොදා ගනිමින් මාව විනාශ කරන්න හදනවා. මගේ බලාපොරොත්තු බිඳින්න හදනවා” යැයි ඉන්දීය ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී රාහුල් ජෝරී සහ ක්‍රිකට් මෙහෙයුම් සාමාන්‍යාධිකාරී සබා කරීම් වෙත ලිපියක් යවමින් මිතාලී රාජ් විසින් දැනුම්දී තිබේ. 


“ඒ වගේම විස්සයි20 නායිකා හර්මන්ප්‍රීට් කෞර්ට එරෙහිව මම චෝදනා නොකරන බවත් මම දැනුම් දෙන්න කැමතියි. අවසන් 11 දෙනාගෙන් මාව ඉවත්කිරීමට පුහුණුකරුගත් තීරණයට ඇය එකඟ වුණා පමණයි.”


“මට අවශ්‍ය ලෝක කුසලානය මගේ රටට දිනවලා දෙන්න. වැදගත් අවස්ථාවක් අපෙන් ගිලිහියාම නිසා වේදනාකාරීයි” 


හිටපු ඉන්දීය නායිකා එදුල්ජීට බැණවදිමින් ඇය පැවසූවේ තමාව ඉවත් කිරීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ ස්ථානයක් රැකගැනීමට නොහැකිවූ බවයි.


“මම හැමවිටම ඩයනා එදුල්ජීව විශ්වාස කළා, ඇයට සහ පාරිපාලක කමිටුවේ සාමාජිකාවක් ලෙස ගරුකළා. නමුත් මම හිතුවේ නෑ ඇගේ තනතුර මට විරුද්ධව පාවිච්චි කරයි කියලා” යයිද මිතාලි රාජ් වැඩිදුරටත් පැවසූවාය. 

 


අදහස් (0)

මිතාලි රාජ් නිහඬතාව බිඳී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.