Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බෙන් ස්ටෝක්ස් යන්න බෑ කියයි

බෙන් ස්ටෝක්ස් යන්න බෑ කියයි

editorial - 2024 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන ජූනි මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේදී සහ බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් තීරණය කර තිබේ. අවසන් වරට පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ (2022 - ඕස්ට්‍රේලියාව) අවසන් මහ තරගයේදී පාකිස්තානය පරාජය කරමින් ලෝක කුසලානය දිනාගත්තේත් එංගලන්තයයි. තුන් ඉරියව් ක්‍රීඩකයකු වන බෙන් ස්ටෝක්ස් එම කණ්ඩායමේ ප්‍රබලතම සාමාජිකයකු විය.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අංග සම්පූර්ණ තුන් ඉරියව් ක්‍රීඩකයකු වීම අරමුණු කරගනිමින්, බෙන් ස්ටෝක්ස් එවන් තීරණයක් ගෙන ඇතැයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය ඊයේ (02 වැනිදා) නිවේදනය කළේය.

“අයි.පී.එල්. තරගාවලියෙන් සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමේ කැපකිරීම මා කරන්නේ ඉදිරියේදී මා බලාපොරොත්තුවන තුන් ඉරියව් ක්‍රීඩකයා වීමේ අපේක්‍ෂාවෙන්” යයි 32 හැවිරිදි එංගලන්ත නායකයා පැවසූ බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයෙන් නිකුත් කරන ලද නිවේදනයකින් කියැවේ.

පසුගියදා ඉන්දියාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී ස්ටෝක්ස් නැවතත් පන්දු යැවීම ආරම්භ කළේය. එහෙත් පන්දු යැවීමේ ඇති වූ කිසිදු වේදනාකාරී තත්ත්වයක් ගැන ස්ටෝක්ස් මැසිවිලි නොකියයි.

ඉන්දියාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය 4-1 ක් ලෙසින් එංගලන්තය පරාජය වූවත් එම තරගාවලියේදී තමන් ක්‍රීඩකයකු වශයෙන් දැක්වූ දස්කම් සම්බන්ධයෙන් ස්ටෝක්ස් සෑහීමට පත්ව නැත. එබැවින් ඉදිරියේ එන එංගලන්ත ගිම්හානයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලටත්, ශ්‍රී ලංකාවටත් එරෙහිව, ටෙස්ට් නායකයකු වශයෙන්, සුපුරුදු දස්කම් කරා යාමේ අරමුණු ඇතිව තමන්ගේ කාර්යයන් වැදගත් කම අනුව පිළිවෙලට තැබීම ස්ටෝක්ස් ආරම්භ කර තිබේ.

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පළමු ටෙස්ට් තරගය ජූලි 10 වැනිදා ආරම්භ වෙයි. ජූනි 29 වැනිදා, බාර්බඩෝස් නුවරදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයත් ජූලි 10 වැනිදාත් අතර ඇත්තේ සති දෙකකටත් අඩු කාලයකි. ඉදිරියේ එන ටෙස්ට් තරගාවලි කිහිපයකම පවතින තදබදය නිසා අයි.පී.එල්. තරගාවලියෙන්ද ඉවත් වූ ස්ටෝක්ස් විස්සයි-20 ලෝක  කුසලාන කණ්ඩායමෙන් ඉවත් වීම එංගලන්ත නායක ජොස් බට්ලර්ට මෙන්ම පුහුණුකරු මැතිව් මොට් ටද මහත් ප්‍රශ්නයක් වී ඇත්තේ, ඔහු එතරම්ම වටිනා තුන් ඉරියව් ක්‍රීඩකයකු වන බැවිනි.

“මගේ දණහිසේ ශල්‍යකර්මයෙන් පස්සේ, පන්දු යවන්නකු වශයෙන් මම කොයිතරම් පහළට වැටිලාද කියන එක හොඳින්ම දැකගන්නට හැකිවුණේ පසුගිය ඉන්දියානු සංචාරයේදීයි. මම මාස 9 ක් පන්දු යැව්වේ නෑ....”

“පන්දු යවන්නකු වශයෙන් මට තිබිය යුතු ශාරීරික යෝග්‍යතාව නිසි පරිදි පවත්වාගෙන යන්න මම උපරිම කැපවීමෙන් වැඩ කරනවා.... ඒ විතරක් නෙමේ, මේ පාර ගිම්හානයේදී එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන්න ඉස්සරවෙලා මම ඩර්හැම් පිල වෙනුවෙන් ක්‍රීඩා කරන්නත් බලාපොරොත්තු වෙනවා” යයි ද ස්ටෝක්ස් පවසා තිබේ.  

 


අදහස් (0)

බෙන් ස්ටෝක්ස් යන්න බෑ කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.