Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශය එක්දින තරගාවලිය ජයගනී
තුන්වැනි එක්දින තරගය

බංග්ලාදේශය එක්දින තරගාවලිය ජයගනී

editorial - 2024 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පිතිකරුවන් මැනවින් පාලනය කරගත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ චැටෝග්‍රෑම් නුවරදී අද (18 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී කඩුලු 4 ක පහසු ජයක් අත්කර ගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 කදී ලබාගත් ලකුණු 235 ට පිළිතුරු ලෙසින් ඕවර 40.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 237 ක් ලබාගත් බංග්ලාදේශීහු පන්දු 58 ක් ඉතිරිව තිබියදීම තරගය ජයගත්හ. 

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙසින් සත්කාරයන් විසින් ජයගන්නා ලදහ. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ වසරේදී (2024) පරාජය වූ පළමුවැනි තරගාවලියයි. 

ලකුණු 236 ක් යනු එක්දින තරගයකදී පහසු ඉලක්කයකටත් වඩා මෑතින් පවතින්නකි. එසේ තිබියදීත් බංග්ලාදේශ ඉනිම ආරම්භ කළ ටැන්සිඞ් හසන් පන්දු 81 කින් ලකුණු 84 ක් ලබා බංග්ලාදේශ ගමන වඩාත් පහසු කර දුන්නේය. ටැන්සිඞ් හසන් බංග්ලාදේශ පිලට එක්වූයේ පන්දු රැකීමේදී අනතුරට පත් සෞම්‍ය සාර්කර් වෙනුවෙනි. 

වනිඳු හසරංග විසින් ටැන්සිඞ් හසන් දවාගන්නා ලද අතර ළහිරු කුමාරගේ සාර්ථක පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ කඩුලු 5 ක් ලකුණු 130 කට දවාගත්හ. එසේ වුවත් හැමදාමත් ශ්‍රී ලංකාවේ ගමනට හරස්වන මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 37) යළිත් වරක් සිය කාර්යය බාරගත්තේය. රහීම් සහ මෙහෙදි හසන් මිරාස් (25) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් තවත් සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. 

මෙහෙදි හසන් දැවී යාමෙන් පසුව පැමිණි රිෂාඞ් හොසේන් පන්දු 18 කින් ලකුණු 48 ක් උදුරාගනිමින් තරගය අවසන් කළේය. හොසේන්ගේ ලකුණු 48 න් ලකුණු 36 ක් පැමිණියේ වනිඳු හසරංගට ගැසූ හයේ සහ හතරේ පහර වලිනි. 

ඉදිරිපෙළ පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දීත් ශ්‍රී ලංකාව වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ ජනිත් ලියනගේ (නොදැවී 101) තම කණ්ඩායම ලකුණු 235 ක් කරා කැඳවාගෙන ගියේය. ජනිත් ලියනගේ හැරෙන්නට ශ්‍රී ලංකා පිලේ සෙසු සියලුම පිතිකරුවෝ අසාර්ථක වූහ. ශ්‍රී ලංකා ඉනිමේදී වාර්තා වූ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ චරිත් අසලංක ලබාගත් ලකුණු 37 යි. 

දෙවැනි ඕවරයේදීම පැතුම් නිස්සංක නිකරුණේ දැවී යාම ශ්‍රී ලංකා පිලට වැදුණු මරු පහරක් විය. පා ඉන්න එල්ලයේ පතිත වූ පන්දුව පැතුම්ගේ පා ආවරණයේ වැදීම නිසා ඔහු දැවී ගිය පිතිකරුවකු යයි විනිසුරුවරයා තීරණය කළ නමුත් රූපවාහිනී පුනරූපන වලින් දිස්වූයේ පන්දුව කඩුල්ලේ නොවදින බවයි. එය ‘විතීවි’ ක්‍රමවේදය වෙත යොමුකිරීමේ පහසු අවස්ථාවක් තිබුණද විනිසුරුගේ තීරණයට හිස නැමූ නිස්සංක නිහඬවම ක්‍රීඩාගාරය වෙත ගියේය. 

අවිශ්ක ප්‍රනාන්දු නැවතත් අසාර්ථක වූයෙන් දෙවැනි කඩුල්ලත් ලකුණු 15 දී බිඳ වැටිණ. 

ක්‍රීඩා පිටියෙන් වෙන්කරගත නොහැකි තරමටම හරිත පැහැය ගත් තණතීරුවේදී බංග්ලාදේශ වේග පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ව පහසුවෙන්ම මෙල්ල කරගත්හ. ප්‍රහාරාත්මක පළමු ඕවර 10 ලකුණු 39 කට සීමාකරගත් ඔව්හු 25 වැනි ඕවරය නිමාවන විට ලකුණු 117 කට කඩුලු 5 ක් බිම දමාගනිමින්, ශ්‍රී ලංකා පිතිරුවන්ගේ ගෙල සිර කරගෙන සිටියහ. 

බංග්ලාදේශය වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ රිෂාඞ් හොසේන් තම ඕවර 10 ලකුණු 38 කට සීමාකර ගත්තේ කඩුලු දෙකක් ද දවාගනිමිනි. ශ්‍රී ලංකා ඉනිමේ නොයිඳුල් ඕවර 3 කි. 

ප්‍රධාන පෙළ් පිතිකරුවන් කොතෙක් අසාර්ථක වූයේද යත් ශ්‍රී ලංකා ඉනිමේ හොඳම සම්බන්ධතාව වූයේ ජනිත් ලියනගේ සහ මහීෂ් තීක්‍ෂණ (15) දෙදෙනා අතර 8 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 60 ක සම්බන්ධතාවයි. 

ඉනිමේ අවසන් ඕවරය යැවූ ටස්කින් අහමඞ් හමුවේ චිත්තාකර්ශනීය කවර් ඩ්‍රයිව් පහරකින් පන්දුව හතරේ සීමාවට යැවූ ජනිත් ලියනගේ තම මංගල එක්දින ශතකය සම්පූර්ණ කළේය. 

තවමත් එක්දින තරග 9 කට පමණක් සහභාගි වී ඇති ජනිත් ලියනගේ, මේ දක්වා රැස්කරගෙන ඇති එක්දින ලකුණු සංඛ්‍යාව 346 කි. ඊට ශතකයක් සහ අර්ධ ශතක 3 ක් ඇතුළත් වේ. පන්දු 102 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා හතරේ පහර 11 කින් සහ හයේ පහර 2 කින් සිය ඉනිම සැරසූයේ ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිහරඹයට ස්ථාවර බලාපොරොත්තුවක් එකතු කරමිනි. 

ලියනගේට අගනා සහයෝගයක් දුන් මහීෂ් තීක්‍ෂණගේ ලකුණු 15 ට පන්දු 40 ක් වැයවූ නමුත් ඔහු පිටියේ රැඳී සිටීම ජනිත් ලියනගේගේ ධෛර්යය වඩවන්නක් විය. 


අදහස් (0)

බංග්ලාදේශය එක්දින තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.