Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පිතිකරුවන් අතර මුල්තැන බාබර් අසාම්ට

පිතිකරුවන් අතර මුල්තැන බාබර් අසාම්ට

editorial - 2021 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සාජා සිට...)

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ පිට පිට තරග දෙකකදී අර්ධ ශතක ලබාගැනීම හේතුවෙන් විස්සයි-20 පිතිකරුවන්‍ගේ ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණට පැමිණීමට පාකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත්වී ඇත. මේ වන විට ඔහු එක්දින පිතිකරු ශ්‍රේණිගතකිරිම්හිද පෙරමු‍ණේ රැදී සිටියි.

ලොව හොඳම විස්සයි-20 පිතිකරුවන් 10 දෙනා අතරේ එකම ශ්‍රී ලාංකික පිතිකරුවකු හෝ නැත. ලොව හොඳම විස්සයි-20 පිතිකරුවන්අතරේ ශ්‍රී ලාංකිකයකු ලබා සිටින ඉහළම ස්ථානය වන්නේ 41 වැනි ස්ථානයේ සිටින කුසල් පෙරේරාය.

ශ්‍රේණිගත කළ විස්සයි-20 පිතිකරුවන් 100 දෙනා අතරේ සිටින ශ්‍රී ලාංකිකයන් වන්නේ කුසල් පෙරේරා (41), චරිත් අසලංක (68), භානුක රාජපක්ෂ (85) සහ පැතුම් නිස්සංක (100) යන සිව්දෙනා පමණි.

තරගාවලිය ආරම්භ වන විට පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවූ අසාම්, එහි පෙරමුණේ පසුවූ එංගලන්තයේ ඩේවිඩ් මලාන් පසුපසට ඇද දමමින් ඉදිරියට පැමිණ තිබේ. මලාන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවූයේ ඉකුත් වසරේ (2020) නොවැම්බර් මස 29 වැනිදා සිටය.

ගෙවීගිය සතිය තුළදී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ලබාගත් ලකුණු 51 ත්, නැමීබියාවට එරෙහිව ලබාගත් ලකුණු 70 ත් සමග සිය කණ්ඩායම අවසන් පූර්ව වටයට ‍රැගෙන යෑමටද අසාම් සමත් විය. අසාම් විස්සයි-20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණට පත්වූ 6 වැනි අවස්ථාව මෙය වූ අතර පළමු වරට ඔහු එහි පෙරමුණට පැමිණයේ 2018 වසරේ ජනවාරි මස 28 වැනිදාය.

 මේ වන විට 27 වැනි වියේ පසුවන අසාම් ශ්‍රේණිගත ලකුණු 834 කට හිමිකම් කියන අතර ඩේවිඩ් මලාන් (798) ඔහුට වඩා ලකුණු 36 ක් පසුපසින් සිටියි. මේ දක්වා බාබර් ලබාගෙන ඇති ඉහළම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 896 ක් වන අතර 2019 වසරේ කාඩිෆ්හි පැවැති තරගයකදී එංගලන්තයට එරෙහිව ලකුණු 65 ක් රැස්කරමින් ඔහු ඊට ලඟා විය.

මෙතෙක් පැවැති තරගවලදී එංගලන්ත පිතිකරුවන් දැක්වූ දක්ශතාද පිතිකරු ශ්‍රේණිගතකිරීම් වෙනස් වීමට බෙහෙවින්ම බලපා තිබේ. ශ්‍රී ලංකාවට එරෙහිව සිය මංගල විස්සයි-20 ශතකය ලබාගත් ජොස් බට්ලර් ස්ථාන 8 ක් ඉදිරියට පැමිණෙමින් ශ්‍රේණිගතකිරීම්හි 9 වැනි ස්ථානය හිමිකරගෙන සිටියි. සිය විස්සයි-20 ක්‍රීඩා දිවිය තුළ බට්ලර් ලඟාවූූ ඉහළම ශ්‍රේණිගත ස්ථානයද එය විය.


පිතිකරු ශ්‍රේණිගතකිරීම්හි සිදුවූ වෙනස්කම්

ඕස්ට්‍රේලියාවේ ඒරන් ෆින්ච් ස්ථාන 3 ක් ඉදිරියට එමින් තෙවැනි ස්ථානයට
එංගලන්තයේ ජේසන් රෝයි ස්ථාන 5 ක් ඉදිරියට එමින් 14 වැනි ස්ථානයට
ස්කොට්ලන්තයේ රිචඩ් බෙරින්ටන් ස්ථානයක් ඉදිරියට එමින් 21 වැනි ස්ථානයට
ඉන්දියාවේ රෝහිත් ශර්මා ස්ථානයක් ඉදිරියට එමින් 23 වැනි ස්ථානයට
ඇෆ්ඝනිස්ථානයේ මොහොමඩ් නබී ස්ථාන 2 ක් ඉදිරිය‍ට එ‍මින් 27 වැනි ස්ථානයට
දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් ස්ථාන 6 ක් ඉදිරිය‍ට එමින් 33 වැනි ස්ථානයට
බටහිර ඉන්දීය කොදෙව්හි නිකලස් පූරන් ස්ථාන 9 ක් ඉදිරියට එ‍මින් 38 වැනි ස්ථානයට
නැමීබියාවේ ක්‍රේග් විලියම්ස් ස්ථාන 9 ක් ඉදිරියට එ‍මින් 44 වැනි ස්ථානයට
නවසීලන්තයේ කේන් විලියම්සන් ස්ථාන 6 ක් ඉදිරියට එ‍මින් 46 වැනි ස්ථානයට
දකුණු අප්‍රිකාවේ ටෙම්බා බවුමා ස්ථාන 35 ක් ඉදිරියට එමින් 52 වැනි ස්ථානයට


අදහස් (0)

පිතිකරුවන් අතර මුල්තැන බාබර් අසාම්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.